Monday, November 7, 2016

සෙම් ගෙඩි

උගුර, අපට ඉතා ප්‍රයෝජනවත් අවයවයකි. කතා කිරීමට උපකාර වීම, ආහාර ගිලීමට උපකාරීවීම එම ප්‍රයෝජන අතරින් කීපයකි. හේතු රැසක්ම නිසා උගුර ආබාධයට ලක්වෙයි. කටහඬ වෙනස්වීම (උගුර බැරැන්ඩිවීම) උගුරේ යමක් සිරවී ඇති බව දැනීම, උගුර ආසාදනය වී සෙම් ගෙඩි ඇතිවීම. ක්ෂණිකව ඇතිවන කටහඬ පිට නොවීම, උගුරේ යමක් සිරවීම උගුර ආශි‍්‍රතව ඇතිවන ආබාධ කීපයකි.

අප ආශ්වාස කරන විට උගුරේ තිබෙන ස්වර තන්තු දුරස්වී පෙනහලු වෙත වාතය ගලා ඒමට ඉඩහරී. ප්‍රශ්වාස වාතය ස්වර තන්තු අතරින් ගලා එන විට ස්වර තන්තු එකිනෙකට ඈත්වීම සිදුවේ. ශබ්දය හට ගන්නේ ස්වර තන්තු කම්පනය වීම නිසාය. දිව, තොල්, ග්‍රසනිකාව යන අවයව මගින් එම ශබ්දයේ ගුණාත්මක භාවය වැඩිකර “කටහඬ” බවට පත් කරනු ලැබේ. අප කතා කරන විට ‘කටහඬ’ ඇති වන්නේ එලෙසය.

එක් එක් පුද්ගලයාට උරුම වූ කටහඬක් පිහිටයි. ඒ කටහඬ විවිධ හේතු නිසා වෙනස් විය හැකිය. උගුරේ ඇතිවන ආසාදන, විවිධ හේතු නිසා වෙනස් විය හැකිය. උගුරේ ඇතිවන ආසාදන, ගෙඩි, පිළිකා, ස්වර තන්තු අකර්මණ්‍ය වීම, උස් හඬින් වැඩි වේලාවක් කතා කිරීම එම හේතූන් අතරින් කීපයකි. උගුර බැරැන්ඩි වීම ලෙස හඳුන්වන්නේ ඉහත සඳහන් හේතු අතරින් කුමන හෝ හේතුවක් නිසා සිදුවන කටහඬේ වෙනස්වීමය. උගුර බැරැන්ඩි වී එක දිගට සති දෙකකට වැඩි කාලයක් පැවතුණහොත් උගුර කන නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යා යුතුය.

බොහෝ දෙනෙකුට උගුර ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධයක් වන්නේ් “සෙම්ගෙඩි” ය. බොහෝවිට මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කුඩා දරුවෝය. සෙම් ගෙඩි ලෙස හැඳින්වුවද මෙහි සෙම හෝ ගෙඩියක් හෝ නැත. අපගේ උගුරේ වසා පද්ධතියට අයත් ගැටිත්තක් සෙම්ගෙඩි ලෙස හඳුන්වනු ලැබේ. උගුර හරහා සිරුරට ඇතුළු වන විෂබීජ විනාශ කිරීමට උදව් වන්නේ මේ වසා ගැටිත්තය. එය, කිසියම් රටකට පහරදීමට පැමිණෙන සතුරු හමුදාවනට පහර දීමට සූදානමින් සිටින හමුදා සේනාංකයක් වැනිය.

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ සෙම් ගෙඩි විශාලව පිහිටයි. වියපත්වන විට එම සෙම්ගෙඩි ක්‍රමයෙන් කුඩා වේ. සෙම්ගෙඩි ඉදිමීම ලෙස අප හඳුන්වන මේ රෝග තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ “ස්ට්‍රෙප්ටොකොකස්” නම් බැක්ටීරියාවය.

සෙම්ගෙඩි ඉදිමීමේ රෝග ලක්‍ෂණ ලෙස ගිලීමේ අපහසුව, කටහඬ වෙනස් වීම, ඇඟපත වේදනාව උණ ඇතිවිය හැකිය. ප්‍රතිකාර ලෙස මෙහිදී වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබාදේ. සෙම්ගෙඩි ඉදිමුණ විට උණුවතුර පානය කළ යුතු අතර විෂබීජ නාශකය මඟින් උගුර සේදීම වඩාත් සුදුසුය. මෙහිදී උගුර සේදීම සඳහා ලුණුවතුර ඉතා යෝග්‍ය වේ. එසේම මෙහිදී උණු ජලයට ලුණු ස්වල්පයක් පමණක් යොදා ගැනීම සුදුසුය.

සෙම්ගෙඩි සරල දෙයක් ලෙස පෙනුණද එය කිසිසේ්ත්ම සරලව සිතිය නොහැකිය. ඒ සෙම් ගෙඩි ප්‍රදාහය ඇති කරන බැක්ටීරියාවට වකුගඩු ප්‍රදාහය, රූමැටික උණ වැනි බරපතළ රෝග ඇති කිරීමේ හැකියාව ඇති නිසාය. රූමැටික උණ මගින් සන්ධි ඉදිමීම සිදුවිය හැකි අතර හෘදයේ කපාට රෝගී වී හෘදය ආශි‍්‍රත ආබාධ ඇතිවීමටත් හේතු විය හැකිය. එසේම සෙම් ගෙඩි ආසාදනය උගුරේ සහ ඒ අවට ඇති පටකවලට පැතිර ගොස් සැරව ගෙඩි පවා ඇතිවිය හැකිය.

මේ නිසා සෙම්ගෙඩි ඉදිමීම පිළිබඳව සුළුවෙන් සිතිය යුතු නොවේ. පාසල් දරුවකුගේ සෙම්ගෙඩි නිතර නිතර ආසාදනයට ලක්වේ නම් එය එම දරුවාගේ අධ්‍යාපනික කටයුතුවලට බාධාවකි. වැඩිහිටියකු මෙම තත්ත්වයට නිතර මුහුණ දෙයි නම් එය ඔහුගේ රැකියාවට මෙන්ම එදිනෙදා වැඩ කටයුතු වලට ද බාධාවකි. එසේ නම් සෙම්ගෙඩි ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට සිදුවේ.

ඔබේ උගුර නිතර නිතර ආසාදනය වෙයි නම්, ගිලීමට අපහසුවේ නම් එය සෙම්ගෙඩි ආසාදනයක්මදැයි ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී නිසැකවම දැනගන්න. වසරකට පස්හය වතාවකට වඩා පිට පිට වසර දෙකක් සෙම්ගෙඩි ආසාදනය වන්නේ නම්, උගුර කන නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යා යුතුය.

සෙම්ගෙඩි හෙවත් උගුරේ තිබෙන මේ වසා ගැටිති ඉවත් කිරීමේ ශල්‍ය කර්මය ඉතා සුළු ශල්‍ය කර්මයකි. එම ශල්‍යකර්මයේදී පිටතින් කැපුමක් සිදු නොකොට උගුර ඇතුළෙන්ම සෙම්ගෙඩි ඉවත් කෙරේ. මෙම ශල්‍යකර්මය සුළු එකක් වුවද රුධිරය වහනය වීමේ අවදානමක් ඇති නිසා රෝහලේ පැය 24 ක් සිටිය යුතුය. ශල්‍යකර්මයෙන් පසුව උගුරේ වේදනාව ඇති වුවද නිතර නිතර ආහාර ගත යුතුය. ශල්‍යකර්මයේදී සිදුවන උගුරේ තුවාලය සුවවීමට සතියක් පමණ කල්ගත වන නිසා සෙනඟ ගැවසෙන ස්ථානවලට නොගොස් නිවසේ රැඳී සිටීම අත්‍යවශ්‍යවේ.

උගුරේ යමක් සිර නොවී එහෙත් කිසියම් දෙයක් සිරවී ඇති බව දැනීම බොහෝ දෙනෙකුට ඇතිවන උගුරේ ආබාධ තත්ත්වයකි. මෙහිදී බොහෝ දෙනෙක් සිතන්නේ තමන්ගේ උගුරේ පිළිකාවක් ඇති බවය. උගුර ආශි‍්‍රතව පිළිකාවක් හෝ වෙනත් ගෙඩියක් ඇති විට උගුරේ යමක් සිරවී ඇති බව දැනෙනවා සේම තවත් හේතු ගණනාවක් නිසාත් උගුරේ යමක් සිරවී ඇති ආකාරයෙන් දැනෙයි.

ගැස්ට්‍රයිටිස් රෝගය ඉන් එකකි. එය සිදුවන්නේ ආමාශයේ අම්ල ස්වභාවය අධික වී ගලනාලය දෙසට ආපසු අම්ලය ගමන් කිරීම නිසාය. ගැස්ට්‍රයිටිස් රෝගය නිසා උගුරේ ඇතිවන ඉහත රෝග තත්ත්වයෙන් මිදීම සඳහා කලක් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.

කුසගින්නෙන් සිටීම මෙන්ම අධික ලෙස කුස පුරවා ගැනීමෙන් ද ගැස්ට්‍රයිටිස් රෝගය වැළකී සිටිය යුතුය. ගැස්ට්‍රයිටිස් රෝගීන් තම උදෑසන ආහාර වේල උදෑසන 7 ට පෙර ගත යුතු අතර දහවල් 1 ට පෙර දිවා ආහාරය ද රාත්‍රී 8 ට පෙර රාත්‍රී ආහාරය ද ගත යුතුය. එවැනි රෝගීන් නින්දට යනවිට රාත්‍රී ආහාර වේල මඳක් ජීර්ණය වී තිබේ නම් වඩාත් යෝග්‍ය වේ.

ගැස්ට්‍රයිටිස් රෝගීන් ආහාර ගැනීමෙන් පසුව අධික ලෙස ජලය පානය කිරීම අගුණය. ඔවුහු ආහාර ගැනීමෙන් පසුව ජලය ස්වල්පයක් පානය කිරීමට පුරුදු විය යුතුය. එසේම ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරතුර හැකි පමණ දියර වර්ග පානය කළ යුතුය.
බෙලි, ආනමාලු කෙසෙල්, අලිගැටපේර වැනි ආම්ලික ස්වභාවය අඩු පලතුරු ආහාරයට ගැනීමට පුරුදුවීම වැදගත්ය. නින්දේදී ශරීරයට වඩා හිස ඉහළ මට්ටමකින් පවතින සේ තබා ගැනීමෙන් අම්ල ගලනාලය දෙසට ඒම වළකී.

කටු, කාසි, බොත්තම්, කුඩාබැටරි කෑලි ආදිය කුඩා දරුවන් සිර කර ගනු දැකිය හැකිය. උගුරේ කටුවක් සිරවීම අවදානම් සහගත තත්ත්වයකි. එය මාළු කටුවක් හෝ ලෝහමය කටුවක් හෝ විය හැකිය. උගුරේ කටුවක් සිරවූ විට උගුරට ඇඟිලි දැමීම කිසිසේත්ම සුදුසු නොවේ. වමනය කිරීමක් සුදුසු නොවේ. කටුව සිරවූ බව දැනුණු මොහොතේ සිට කිසිවක් ආහාරයට නොගත යුතුය. වඩාත් සුදුසු වන්නේ හැකි ඉක්මනින් උගුර කන නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යාමය. වෛද්‍යවරයා නිවැරැදි උපකරණ භාවිතා කරමින් කටුව ගැනීමට යොමුවනු ඇති.

උගුරේ කටුවක් සිරවිය හැකි ස්ථාන කීපයක්ම වේ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ සෙම්ගෙඩිය. සෙම්ගෙඩි හෙවත් උගුරේ ඇති වසා ගැටිති උගුරට නෙරා ඇතිසේ පිහිටන නිසා ඒවායේ කටුවක් ඇනීමේ හැකියාව වැඩිය. එසේම දිව පිටුපස කෙළවර කොටසේද කටුවක් ඇනිය හැකිය. කටුවක් ඇනී තිබිය හැකි තවත් ස්ථානයක් වන්නේ ග්‍රසනිකාව හෝ ගලනාලයේ ඉහළ කොටසය.

සමහරවිට කටුව සිරවී නැතත්, කටුව ඇනුණු තුවාල නිසා දැනෙන වේදනාව රෝගියා බියට පත් කිරීමට සමත්ය. රෝගියා සිතන්නේ තවමත් කටුව උගුරේ ඇනී ඇතැයි කියාය. වෛද්‍යවරයා විසින් රෝගියාව පරීක්‍ෂා කළ පසුව කටුව පිටතට පෙනෙන්නට ඇත්නම්, එය සියුම් අඩුවකින් ඉවත් කරනු ඇති. ඇසට නොපෙනෙන මායිමේ ඇති කටු ඔකිරණ පරීක්‍ෂාවකින් දැකගත හැකිය. කටුවක් සිරවී තිබියදීත් ඒ පිළිබඳව නොසලකා සිටීමෙන් උගුරේ සැරව ගෙඩියක් ඇතිවීමේ ඉඩකඩ ඇත. එය තරමක භයානක තත්ත්වයක් විය හැකිය. වෛද්‍යවරයා මෙහිදී ප්‍රතිජීවක ඖෂධ නියම කරනු ඇති.

උගුරේ කටුවක් ඇනුණු පසුව කටුව උගුරේ සිරවී එය පිළිකාවක් බවට පත්වේ යැයි ඇතැම්හු බියක් දක්වති. එය වැරදි සහගත හැඟීමකි. එසේ පිළිකා බියක් ඇති කර ගත යුතු නොවේ. උගුරේ ඇනුණු කටුවක් කාලයක් රැඳෙන්නේ නැත. එය විගසින් ඉවත් නොකළහොත් එතැන සැරව ගෙඩියක් ඇතිවේ. එම සැරව ගෙඩිය පිපිරෙන විට කටුව ඉවත්වේ. දරුවකු කාසියක්, බොත්තමක් හෝ බැටරි කැබැල්ලක් වැනි යමක් උගුරේ සිරකරගතහොත් වහාම වෛද්‍යවරයකු වෙත ගෙන යා යුතුය. අත්ඔරලෝසු වැනි උපකරණවලට යොදන කුඩා බැටරියක් දරුවකු ගිල දැමුවහොත් වහාම දරුවා රෝහලක් වෙත රැගෙන යා යුතුය. බැටරිය තුළ ඇති මැංගනීස්, රසදිය වැනි රසායනික ද්‍රව්‍ය දරුවාගේ් ජීවිතයට තර්ජනයක් ගෙන දිය හැකිය.

උගුර ආශි‍්‍රතව ඇතිවන වඩාත් සැලකිලිමත් විය යුතු රෝගාබාධයක් ලෙස ගෙඩි සහ පිළිකා දැක්විය හැකිය.

උගුරේ ගෙඩියක් හෝ පිළිකාවක් ඇති වී ස්වරාලය අවහිර වීම නිසා බොහෝවිට හුස්ම ගැනීම අපහසු වී උගුරෙන් කිසියම් ශබ්දයක් පිටවනු නිරීක්‍ෂණය කළ හැකිය. කටහඬ වෙනස්වීම වැනි ලක්‍ෂණ ද මෙහිදී පෙන්නුම් කෙරේ. උගුර, කන, නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ වෛද්‍යවරයකුට මෙම තත්ත්වය පහසුවෙන් හඳුනාගත හැකිය. උගුරේ පිළිකාවක්ඇත්නම් රෝග ලක්‍ෂණ කීපයක් මතුවේ.

කෙටිකලකදී ශරීරයේ බර අඩුවීම, (කලින් ඇඟට තදව තිබූ ඇඳුම් බුරුල් වී ඇති බව දැනීම.) ආහාර වේලක් ගැනීමට ඉතා දිගු වේලාවක් ගත වීම. (ආහාර ගන්නා අතරතුර කීප වරක් ජලය පානය කිරීමට සිදුවීම.) ආහාර පිට උගුරේ යාම නිසා කැස්ස ඇතිවීම, කලක් ගතවන විට ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවීම ආදිය එම රෝග ලක්‍ෂණ අතර වේ.

ඔබටත් කිසියම් උගුරේ අපහසුතාවක් ඇත්නම්, ඒ ගැන තැවෙමින් මානසිකව රෝගී වනවාට වඩා වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමය. යම් හෙයකින් උගුරේ ඇති වී තිබෙන ගැටිත්ත පිළිකාවක් නම්, එය මුල් අවස්ථාවේම හඳුනා ගැනීමෙන් පහසුවෙන් සුවපත් කළ හැකිය. ඒ සඳහා විකිරණ ප්‍රතිකාර භාවිතා කෙරේ. විකිරණ ප්‍රතිකාර ප්‍රමාණවත් නොවූ විට ශල්‍යකර්මයක් මඟින් උගුරේ කොටසක් ඉවත් කිරීමට සිදුවේ. මෙම ශල්‍යකර්මයෙන් පසුව කතා කිරීමේ අපහසුතා ඇති වුවද නවීන විද්‍යානුකූල ක්‍රම උපයෝගී කරගනිමින් කතා කිරීමේ හැකියාව නැවත ලබාගත හැකිය.

කොළඹ ජාතික රෝහලේ උගුර කන නාසය ආශි‍්‍රත
රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය
චන්ද්‍රා ජයසූරිය

උපුටා ගැනිම: www.silumina.lk

ගැස්ට්‍රයිටිස්

ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව වත්මන් සමාජයේ බහුලව පවත්නා ගැටළුවක් වන අතර, ‘ගෑස්ටික්’, ‘ගෑස්’, සහ ‘බඩේ ගෑස්’ වැනි නම් වලින් ද ඇතැම් අය අතර ප්‍රචලිතව තිබෙනවා. ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් (Inflammation) වේ. ගැස්ට්‍රයිටිස් තත්ත්වය කෙටි කාලයක් තුළදී මතුවිය හැකි අතර (කෙටිකාලීන ගැස්ට්‍රයිටිස්/Acute gastritis), දිගුකාලයක් තිස්සේ සෙමින්ද මතුවේ (දිගුකාලීන ගැස්ට්‍රයිටිස්/Chronic gastritis). ඔබට පාලනයකින් තොරව ගැස්ට්‍රයිටිස් අමාරුව ඇත්නම්, ආමාශයේ තුවාල සහ ආමාශයේ පිළිකා ඇතිවීමට ඇති අවදානම වැඩිවේ. නමුත්, ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඖෂධ සහ ජීවන රටාවේ ඇතිකරගන්නා වෙනස්කම් මගින් සුවකරගත හැක.

ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ
  • බඩේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන දැවිල්ලක් හෝ කැක්කුමක්.
  • වමනය යෑමට ආසන්න සේ හැඟීම හෝ වමනය යෑම.
  • බඩ පුරවා දැමීම සහ බඩේ අපහසුතාවයක් දැනීම.
  • දැවිල්ලක් සහිතව උගුරට ඒම.
  • කෑම අරුචිය

ගැස්ට්‍රයිටිස් ඇතිවීමට හේතු සහ අවදානම් සාධක
  • ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන Helicobacter pylori නැමැති බැක්ටීරියා ආසාදනය.
  • මත්පැන් භාවිතය.
  • දුම්පානය කිරීම.
  • ඇස්පිරින් සහ ඇතැම් ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal Anti-inflammatory Drugs/NSAIDs) වැනි වේදනා නාශක.
  • ජීවන රටාව, ලොකු ශල්‍යකර්මයක්, ලොකු අනතුරක්, පිළිස්සීමක්, හෝ දැඩි ආසාදනයක් නිසා ඇතිවන මානසික ආතතිය (Stress).
  • ඇතැම් ස්ව-ප්‍රතිශක්ති රෝග (Auto-immune diseases)
  • පිළිකා රෝග ප්‍රතිකාර සඳහා යොදාගන්නා රසායනික චිකිත්සාව (Chemotherapy) සහ විකිරණ චිකිත්සාව (Radiotherapy).
  • ඇතැම් අසාත්මිකාරක (Allergen).
  • දිගුකාලීන පිත ඉහළට ගැලීම (Chronic bile reflux) නැමැති තත්ත්වය.
  • අම්ල වැනි විඛාදක ද්‍රව්‍ය (Corrosive) පානය කිරීම.
  • අධිකව තේ හෝ කෝපි පානය කිරීම.
  • ඇතැම් දිළීර සහ වෛරස් ආසාදන.
  • රක්තහීනතාවය (Anaemia) සඳහා ලබාදෙන යකඩ පෙති.
  • වැඩිපුර අනුභව කිරීම (Overeating).
  • ආහාර වේල් මගහැරීම.
  • ස්ටෙරොයිඩ් ඖෂධ ප්‍රතිකාර (Steroid treatments).
  • ආමාශයට සිදුවන අනතුරු හෝ ආමාශයේ ශල්‍යකර්ම.

ඔබට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න. මක්නිසාද, ඇතැම් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ, ඇතැම් දරුණු රෝග තත්ත්ව වලදී ද මතුවේ. ඒවා නම්,
  • හදවත් රෝග.
  • ආමාශයේ පිළිකා.
  • අග්න්‍යාශදාහය (Pancreatitis).
  • පිත්තාශයේ (Gallbladder) සහ පිත්තකාර්ෂයේ (Biliary tract) ප්‍රදාහයක් හෝ ආසාදනයක් නිසා ඇතිවන පිත්ත වේදනාව (Biliary pain).
  • ආමාශයේ තුවාළ හෝ වණ.

ගැස්ට්‍රයිටිස් රෝගය සුවකර ගන්නේ කොහොමද?
ගැස්ට්‍රයිටිස් රෝගය සුවකිරීම සඳහා ලබාදෙන ඖෂධ නිසි අයුරින් භාවිතා කිරීම මෙන්ම, ජීවන රටාවේ වෙනස්කම් ඇතිකරගැනීම ද එකසේ වැදගත් වේ. මෙම රෝග තත්ත්වය සුවකරගැනීමට පහත සඳහන් උපදෙස් අනුගමනය කිරීම කල යුතුවේ.
  • මත්පැන් පානය කිරීමෙන් වලකින්න.
  • දුම්පානය කිරීමෙන් වලකින්න.
  • ඔබේ වෛද්‍යවරයා ලබාදෙන ප්‍රතිජීවක (Antibiotics), ආමාශයේ අම්ල නිෂ්පාදනය අඩුකරන හෝ වලක්වන ඖෂධ, වමනය වලක්වන ඖෂධ, සහ ප්‍රතිඅම්ල (Antacid) ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.
  • අසාත්මිකාරක වලින් ඈත් වන්න.
  • තේ සහ කෝපි පානය අඩුකරන්න.
  • චොකලට් අනුභව කිරීම අඩුකරන්න.
  • අධිකව තෙල් සහිත ආහාර (බැදුම් වර්ග, තෙල් සහිත ආහාර සහ තෙම්පරාදු කරන ලද ආහාර) භාවිතය අඩුකරන්න.
  • බිස්කට් වර්ග සහ පිටි වලින් සාදන ලද ආහාර වර්ග අනුභව කිරීම අඩුකරන්න.
  • මිරිස් සහ තුනපහ වැඩිපුර යෙදූ ආහාර භාවිතය අඩුකරන්න.
  • ඇඹුල් ගතිය වැඩි පානයන් සහ ආහාර භාවිතය සීමා කරන්න.
  • කිරි, යෝගට්, සහ මුදවපු කිරි ඇතුළු කිරි ආහාර භාවිතය සීමා කරන්න.
  • වැඩිපුර ආහාර ගැනීමෙන් හෝ නිරාහාරව සිටීමෙන් වලකින්න.
  • මානසික ආතතිය පාලනය කරගන්න. මේ සඳහා හොඳින් නිදාගැනීම, විවේකය, සහ සතුටින් සිටීම වැදගත් වේ.
  • ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වලකින්න.
  • ආහාර වේලක් කොටස් දෙකකට වෙන්කර, ආහාර වේල් 5-6 ක් වනසේ අනුභව කරන්න. එවිට ආහාර වේල් අතර පරතරය අඩුවන බැවින් අම්ල වලින් ආමාශයට හානි සිදුවීම අවම වේ. උදාහරණයක් වශයෙන්, උදෑසන ආහාරය දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය පරිදි ආහාරයට ගන්න. ඉතිරි කොටස දහවල් තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව කරන්න. දහවල් ආහාරයද මෙලෙසම කොටස් දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය පරිදි ආහාරයට ගෙන, ඉතිරි කොටස සවස තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව කරන්න.
  • වැඩිපුර තන්තු ආහාරයට ගැනීම සඳහා දවසකට එළවලු සහ පළතුරු කෝප්ප 6 ක් ආහාරයට ගන්න.
  • ආහාර හොඳින් සපා අනුභව කරන්න. ආහාර ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 15 ක් වත් ගතකරන්න.
  • ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න.
  • රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු පැය 3 ක් වත් ගතවන තුරු නින්දට යන්න එපා.
  • ඔබේ ශරීරයේ අධික බර හෝ තරබාරුබව ඇත්නම්, බර අඩු කරගන්න.
  • දිනපතා ව්‍යායාම කරන්න.

කර්තෘ: වෛද්‍ය නාලක ප්‍රියන්ත


උපුටා ගැනීම: www.suwasewana.com

Saturday, November 5, 2016

චර්ම රෝග (දඳය)

දඳය නැතහොත් ‘එක්සීමා’ සමේ ඇති වන ප්‍රදාහයකි. මෙම දඳය වර්ග කිහිපයකට බෙදිය හැකි අතර ‘ඒටොප්ක්’ ඒකසීමා හෙවත් (සාමාන්‍ය ව්‍යවහාරයේ ‘රිත්කයා’ නමින් හඳුන්වන වර්ගය වඩාත්ම බහුල වේ.

‘රිත්තයා’ - වරින් වර ඇතිවන කැවීම හා රතු පැහගැන්වූ සම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. ළමා වියේදී බහුලව දැකිය හැකි මෙහි ශරීරයේ ව්‍යාප්තිය වයසත් සමග වෙනස් වේ. කුඩා දරුවන්ගේ මුහුණේ දැකිය හැකි මෙම තත්වය වයසින් වැඩි දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ වැළමිට ඇතුළු පැත්තේ හා දණහිස නැම්මේ දැකිය හැක. සමහර පවුල් වල මෙය සුලබ වන අතර ඇඳුම හා ‘හේෆිවර්’ යන රෝග සමග සම්බන්ධ වේ.

මීට අමතරව සබන්, රෙදිසෝදන කුඩු වර්ග හා විවිධ රසායනික ද්‍රව්‍ය නිසාද දඳ ඇති විය හැක.

‘සේබරික් චර්ම ප්‍රදාහය’ ලෙස හඳුන්වන දඳ වර්ගය සාමාන්‍ය ඉස්හොරි ලෙස ඇති වන අතර මෙයට දිලීරයක් හේතුකාරක වේ. ඉස්සොරි වැඩිවීමත් සමගම පිට, පපු ප්‍රදේශයේ වැනි එම ඉස්හොරි වැටෙන ස්ථාන වලද ආසාදන ඇති විය හැක


දඳ සෑදෙන්නේ ඇයි?

එක්සීමාව කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවන්නේ නැත. මෙම ‍සමහර අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ කිසිම හේතු‍වක් නැතිව ඇති වුවද සමහර විට විවිධ උත්තේජක රෝග ලක්ෂණ මතු කිරීමට හේතු වේ.
  • සබන් වර්ග, ෂැම්පු වර්ග, රෙදි සෝදන කුඩු වර්ග.
  • මල් වල ‘පෝලන්’.
  • වෙනත් රෝග වලින් පෙලීම.
  • හෝර්මෝන තත්වයන්හි වෙනස්වීම් - මාස්ශුද්ධිය, ගර්භනී තත්වය.
  • මානසික පීඩනය.
  • අධික ශීතල / උණුසුම.

රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ දඳ වර්ගය හා බරපතලකම මත තීරණය වේ.
  • සම රතු පැහැ ගැහීම.
  • කැසීම.
  • වියළි, ඉරි තැළුණු සම.
  • කුඩා දිය බුබුළු ඇතිවීම.
  • ඝන රළු හම  මෙහි රෝග ලක්ෂණ වේ.

ප්‍රතිකාර

සාමාන්‍යයෙන් ඕනෑම වෛද්‍යවරයෙකුට මෙම දඳ තත්වය නිර්ණය කළ හැක. රෝග විනිශ්චය පැහැදිලි නොමැති අවස්ථාවන්හි දී විශේෂඥ චර්ම වෛද්‍යවරයෙකු වෙත යැවිය හැක.

බොහෝ දඳ නිට්ටාවට සුව කළ නොහැකි නමුත් රෝග ලක්ෂණ නියමිත ප්‍රතිකාර මගින් පාලනය කළ හැක. දඳ සඳහා භාවිතා වන ප්‍රධාන ඖෂධ වර්ග පහත දී ඇත.

‘එමෝලියන්ස්’ / තෛලමය ආ‍ලේපන - සමේ තෙතමනය වැඩි කිරීමට හේතුවන මෙම ආලේපන රෝග ලක්ෂණ නොමැති වුවද ආලේප කළ යුතුයි.

ස්ටෙරොයිඩ් ක්‍රීම් :- ශරීරයේ ඇතිවන අසාත්මිකතාවය අඩුකර රෝග ලක්ෂණ පාලනය කරයි. එහෙත් අතුරු ආබාධ නිසා ඉතාම දුබල ස්ටේරොයිඩ් වර්ගය තුනීව ආලේප කල යුතුයි. එසේ නැතහොත් සම තුනී වී සම රැලි වැටීම සිදුවිට හැක.

මීට අමතරව විශේෂඥ චර්ම වෛද්‍යවරුන් විසින් විවිධ බෙහෙත් පෙති නියම කළ හැක


දඳ සමග ජීවත් වීම

ප්‍රතිකාර නිසි ලෙස කිරීම මෙන්ම රෝග ලක්ෂණ උත්තේජනය කරන හේතු කාරක මගහැරීම ද රෝග පාලනය කිරීමට වැදගත් වේ.

කර්තෘ - වෛද්‍ය පී.ජී.ජී. ආරියසිංහ මිය (එම්.බී.බී.එස්, ඩීඑෆ්එම්)

සෙංගමාලය

කර්තෘ - වෛද්‍ය ශාමිලා සමරනායක (MBBS, DCH)
ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය

සෙංගමාලය යනු අක්මාවේ ඇති වන අසාධ්‍ය තත්ත්වයකි. මෙම ආසාධන තත්ත්වය විවිධ හෙපටයිටිස් වෛරස (ඒ.බී.සී.ඩී.ඊ) සහ අනෙකුත් වෛරස, බැක්ටීරියා සහ ඇතැම් විෂ වර්ග නිසා ඇති විය හැක.

මාතෘකාව යටතේ විස්තර වන හෙබටයිටිස් ඒ හා ඊ වෛරස නිසා හටගන්නා සෙංගමාලය ඇතිවන්නේ, එම විෂබීජ අඩංගු ආහාර හා ජලය, මුඛය හරහා ඇතුල්වීම තුළින් අක්මාවට හානි වීමෙනි. අනෙකුත් වෛරස වලින් වැළදෙන සෙංගමාලයට වඩා හෙපටයිටිස් ඒ වෛරසය නිසා ඇති වන සෙංගමාලය බරපතල බවින් අඩුය. වයසක ඇත්තන්, පාසැල් ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්ට මෙම විෂබීජය ඇතුළුවීම වැඩි ප්‍රවණතාවකින් සිදුවේ. සාමාන්‍යයෙන් හෙපටයිටිස් ඒ වලින් ඇතිවන සෙංගමාලය වරක් ඇති වූ පසු නැවත ඇති නොවේ.

රෝග කාරකය
මෙම මාතෘකාව යටතේ කථා කෙරෙනුයේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා ඇතුල් වන හෙබටයිටිස් ඒ හා ඊ වලින් වැළදෙන සෙංගමාල තත්ත්වයයි

ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු
විශබීජය ඇතුළත් ආහාර ගැනීමෙන් හෝ දියර / ජලය පානය කිරීමෙන් පසු සති 3 – 8 අතර කාලයකින් රෝග ලක්ෂණ පහළ විය හැක

රෝග ලක්ෂණ
මෙම රෝගය බරපතල භාවය අනූව පරාසයක් තුළ දක්නට ලැබේ. සමහරු මද රෝගී තත්ත්වයක් පෙන්වන අතර සමහරුන්ට මාස කීපයක් පුරා ඇතිවන බරපතල රෝග ලක්ෂණ පවතී.

හෙපටයිටිස් ඒ සෙංගමාලය නිසා උණ, කෑම අරුචිය, වමනය, ඔක්කාරය, හිසේ කැක්කුම, අධික මහන්සිය, ඇගපත වේදනාව, බඩේ වේදනාව (විශේෂයෙන් බඩේ දකුණු පස උඩ කොටස), පාචනය ඇස් සහ සම කහ පැහැ වීම දැකිය හැක. තද කහ පැහැ මූත්‍රා පිට කරන අතර සමහර විට මලපහ ලා පැහැයක් ගනී.

සංකූලතා
ගර්භනී සමය තුළ හෙපටයිටීස් ඊ වෛරසය සෙංගමාලය වැලදුන විට මළ දරු උපත් පවා ඇති විය හැක. මවගේ ජීවිතයටද හානි වීමට තරම් හෙපටයිටීස් ඒ සෙංගමාලය නිසා සාමාන්‍යයෙන් මරණ ඇති නොවේ.

ප්‍රතිකාර
ඇතැම් රුධිර පරීක්ෂණ මගින් රෝගය තහවුරු කිරීම සහ කෙතෙක් දුරට අක්මාවට බලපෑ ඇත්ද, යන්න තීරණය කළ හැක. නමුත් හෙපටයිටීස් ඒ සහ ඊ සෙංගමාලය සදහා විහේෂිත වූ ප්‍රතිකාර නැත. රෝගියා හැකිතාක් විවේක ගත යුතුයි. එමෙන්ම හොදින් දියර / ජලය පානය කළ යුතුයි. රෝගී කාලයේ මධ්‍යසාර භාවිතා කිරීම කිසි විටෙක නොකළ යුතු වන්නේ ඉන් තව දුරටත් අක්මාවට හානි විය හැකි නිසාය.
සාමාන්‍යයෙන් හෙපටයිටීස් ඒ සහ ඊ සෙංගමාලය ඉබේ කාලයත් සමග සුව අතට හැරේ.

රෝගය වළක්වා ගැනීම.
හෙපටයිටිස් ඒ සෙංගමාලයෙන් වැලකීම සදහා එන්නතක් ඇත. මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ නිර්දේශ මත ලබා ගත හැක. නමුත් හෙපටයිටිස් ඊ වෛරසයෙන් වැළකීමට එන්නතක් නැත.
  • ආහාර පිළියෙළ කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර හා වැසිකිළි යාමෙන් පසු සබන් දා අත් සෝදා ගන්න.
  • සෑම විටම උතුරවා නිවා ගත් ජලය පානය කරන්න.
  • හැකි සෑම විටම ගෙදරදී පිළියෙල කළ ආහාර ගන්න. හොදින් පිසින ලද ආහාර අනුභව කරන්න.
  • මැස්සන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ආහාර වසා තබන්න.
  • පලතුරු, පළා වර්ග අමුවෙන් ආහාරයට ගැනෙන එළවළු හොදින් සෝදා ආහාරයට ගන්න.
  • සෑමවිටම මලපහ කිරීමට වැසිකිලියක් භාවිතා කරන්න. කුඩා ළමුන්ගේ මලපහ වැසිකිළියටම දමන්න.
  • ගර්භනී මව්වරුන් තමන් ගන්නා ආහාරවල පිරිසිදු බව ගැන වඩාත් සැළකිලිමත් විය යුත්තේ, හෙපටයිටිස් ඊ විෂබීජය ශරීරගත වූවොත් දරුණු ලෙස සෙංගමාලය වැලදිය හැකි බැවිනි. එම නිසා සෑම විටම නිවසේ පිළියෙල කළ හොදින් පිසූ ආහාර අනුභව කිරීම යෝග්‍යය.




ක්ෂය රෝගය

කර්තෘ - වෛද්‍ය ජී.ජී.ජී. ආරියසිංහ (M.B.B.S, D.F.M)
ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය

ක්ෂය රෝගය (ටී.බී) ඇතිකරන්නේ මයිකො බැක්ටීරියම් ටියුබකියුලෝසිස් නම් බැක්ටීරියාව මගිනි. සාමාන්‍යයෙන් ටී.බී. ඇතිවන්නේ පෙනහළුවල නමුත්, ශරීරයේ වෙනත් ඕනෑම කොටසක් මෙයට ලක්විය හැක.
ලෝකයේ ජනගහනයෙන් 1/3 ක් ක්ෂය රෝගය ආසාදනය වී තිබේ. මෙය ලෝකයේ ප්‍රධානතම මරණය ඇති කරන විෂබීජ වර්ගයකි.  එනමුත්, මෙය සම්පූර්ණයෙන්ම නිසි ප්‍රතිකාර මගින් සුව කළ හැක.



රෝගය ඇතිවීමට හේතු
ටී.බී. රෝග කාරකය වාතයට එකතුවන්නේ, ටී.බී. ආසාදිත රෝගයක් කිවිසන විටදීය. මෙම විෂ බීජය නිරෝගී පුද්ගලයකු ආශ්වාස කළවිට, එය ඔහුගේ / ඇයගේ පෙනහළු තුලට ඇතුලු වී වර්ධනය වේ. මෙම ආසාදනය ආකාර 3 කට ව්‍යාප්ත විය හැක.


සුළු ආසාදිත තත්වය - රෝග ලක්ෂණ නොමැත.

බොහෝ අවස්ථාවලදී මෙය සිදුවේ.
නිරෝගී හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන පුද්ගලයකු  ටී.බී. බැක්ටීරියාව ආශ්වාස කළ විට  ක්‍රියාකාරී ක්ෂය රෝගය ඇති නොවේ පෙනහළු තුළ බැක්ටීරියාව වර්ධනයේදී, ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී රෝගකාරක විෂබීජය විනාශ කර දමයි. එසේ නොමැති නම් විෂබීජය ක්‍රියා විරහිත කර තබයි. සුළු රෝග ලක්ෂණයක් ඇතිවිය හැකි නමුත්, රෝගය පැතිරීම මෙහි දී සිදු නොවේ.

සමහර අවස්ථාවලදී මෙය සිදු වූ පුද්ගලයන් මෙසේ තමා බැක්ටීරියා ව ඇතුළු වූ බවවත් නොදනී. අහම්බයෙන් පපුව ප්‍රදේශයේ  X’ray සටහනක් ලබාගත් විට, පෙනහළු කුඩා කැලලක් දැකිය හැක. මෙය කලින් ඇති වූ ආසාදනයට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වූ බව පෙන්නුම් කරන සාධකයකි.

ක්‍රියාකාරී ටී.බි. තත්වයට පත්වීම - මෙය සිදුවන්නේ සමහර රෝගීන්ගේ පමණි.

ක්‍රියාකාරී ටී.බී. තත්වය ටී.බී. බැක්ටීරියාව ආශ්වාස කරන සමහරක් පුද්ගලයන්ට ඇතිවන තත්වයකි. මෙම අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැක්ටීරියාව නතර කිරීමට නොහැකි වේ. ටී.බී. බැක්ටීරියාව ගුණනය වී පෙනහළු වල වෙනත් ස්ථාන සහ ශරීරයේ වෙනත් ස්ථාන වලට පැතිරිය හැක. ක්‍රියාකාරී ටී.බී. වල රෝග ලක්ෂණ බැක්ටීරියාව ඇතුළු වී සති 6 ත් 8 ත් අතර කාලයක් තුළ ඇති වේ.


ද්විතීයික / නැවත ක්‍රියාකාරී වූ ආසාදනය

සුළු ටී.බී. ආසාදන තත්වයක් නැවතීමෙන් මාස ගණනකට හෝ අවුරුදු ගණනකට පසු නැවත ක්‍රියාකාරී විය හැක.  මුලින්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය බැක්ටීරියාවේ ගුණනය නවත්වයි. එසේ වුවත්. සියළුම බැක්ටීරියාවන් මිය නොයා ඉතිරි වේ.  ඔවුන්ගේ ගුණනයන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නතර කරයි. මේවා අක්‍රීය තත්ත්වයේ වර්ෂ ගණනාවක් වුනත් පැවතිය හැක. ශරීරයේ ප්‍රතිශක්තිකරණ තත්වය බිඳ වැටුණු අවස්ථාවක මෙම අකීය ටී.බී. ක්‍රියාකාරී වී ආසාදන ඇති කරයි.
මේ තත්වය ඇති විය හැක්කේ,
  • වයස්ගත දුර්වල පුද්ගලයින්ට
  • මන්දපෝෂණ තත්වයක් ඇති විට
  • දියවැඩියා ව ඇති අය ප්‍රතිශක්තිය අඩුකරන බෙහෙත් හෝ “ස්ටීරොයිඩ්” ඖෂධ
  • වකුගඩු අකර්මන්‍ය වූ අය
  • මත් ද්‍රව්‍ය වලට ඇබ්බැනි වූවන්
  • මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය ආසාදනය වූවන්.

රෝග ලක්ෂණ
  • සති 3කට වැඩියෙන් ‍පවතින කැස්ස.
  • ස්කන්දය අඩුවිම.
  • වෙහෙස බව.
  • උණ ගතිය - විශේෂයෙන්ම සවස් කාලයේ
  • රාත්‍රියට අධිකර ලෙස දහඩිය දැමීම.
  • පවුවේ කැක්කුම.
  • හති තත්වය.
  • කෑම අරුචිය.
  • සෙම සමග ලේ පිටවීම.

රෝගයට හේතු

දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින් මෙයට ගොදුරු වීමට වැඩි ප්‍රවණතාවක් ඇත.
දියවැඩියාව තත්වය, පිළිකා නාශක ඖෂධ භාවිතය, ඇදුම රෝගය, දීර්ඝකාලීන් පෙනහළු රෝග, හානි වූ පෙනහළු, දුම්පානය, මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය සහ වකුගඩු ආසාදන ප්‍රතිශක්තිය දුර්වල කරන අතර එනිසා ටී.බී. සඳහා අවදානම් තත්වයක් මොවුනට ඇත.


සංකූලතා

ඉක්මනින් නිවැරදි ප්‍රතිකාර නොගතහොත්. ටී.බී. බැක්ටීරියා තත්වය පෙනහළු වලට පමණක් සීමා නොවී, ශරීරයේ වෙනත්  ඉන්ද්‍රීයයන්ට පැතිරිය හැක. එනම්, මොලය, කොඳුඇට පෙළ, වකුගඩු, අන්ත්‍ර සහ පැලෝපීය නාල වැනි ස්ථාන වලටත් එය පැතිරිය හැක.


ප්‍රතිකාර

“සෘජු අධීක්ෂණ ප්‍රතිකාර ක්‍රමය”  (Directly Observed Treatment Shortcourse (DOTS)
මෙය “හරියටම දිනපතා” නියමිත ‍ප්‍රතිකාර කාලය අවසන් වනතෙක් ගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැක.
මෙසේ හරියටම සිදුවනවාද යැයි තහවුරු කර ගැනීමට වෙනත් සෞඛ්‍ය සේවකයකුගේ අධීක්ෂණය යටතේ මෙය සිදුකරනු ලබයි. මෙම DOTS සඳහා රෝහල් ගතවීමට අවශ්‍ය නොවේ.  DOTS මධ්‍යස්ථානයක් තෝරා ගැනීම රෝගියාගේ කැමැත්තට හා පහසුවට අනුව සිදුවේ. රජය මගින් ප්‍රතිකාර සඳහා දෙන ඖෂධ නොමිලේ ලබාදෙනු ලැබේ.

ප්‍රතිකාර කළයුතු කාලය රෝගය ඇති ස්ථානය අනුව තීරණය වේ. පෙනහළු ආසාදන සඳහා ප්‍රතිකාරය සාමාන්‍යයෙන් මාස 6 ක් වේ. වෛද්‍යවරයා විසින් කොපමණ කාලයක් බෙහෙත් පාවිච්චි කළ යුතු ද යන්න නිගමනය කරනු ලැබේ. ටී.බී. සඳහා බෙහෙත් වර්ග කිහිපයක් එකවිට භාවිතා කරනු ලැබේ. එය එසේ සිදුවනුයේ, බැක්ටීරියාවේ විවිධ තත්වයන්ට ගැළපෙන ලෙසයි. සම්පූර්ණ සුවය සඳහා මුළු ප්‍රතිකාර ප්‍රමාණයම ලබාගත යුතු‍ වේ






මැලේරියාව

මොළේ මැලේරියා වැනි සංකුලතා ඇති විය හැකි නිසා මැලේරියාව යනු මාරාන්තික විය හැකි රෝගයකි. මැලේරියාව ලෝක ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඈත අතීතයේ සිටම වාර්තා වූ රෝගයකි. විටෙක එය මිනිස්‌ ජීවිත දහස්‌ ගණනක්‌ බිලි ගනිමින් වසංගත තත්ත්වයෙන් හිස ඔසවා ඇත. ශ්‍රී ලංකාවේද 1934 -1935 කාල සීමාවේදී ඇති වු මැලේරියා වසංගතයෙන් රෝගීන් 82,000 ක්‌ පමණ මිය ගොස්‌ ඇත.

මැලේරියාව ඝර්ම කලාපීය රටවල බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. වත්මන් ලෝකයේ රටවල් 110 කින් පමණ මැලේරියාව වාර්තාවන අතර ලෝක ජනගහනයෙන් අඩක්‌ පමණ මැලේරියාව සෑදීමේ අවදානමකට ලක්‌වේ. 2008 වසරේදී මැලේරියාව නිසා ලොව පුරා මිනිසුන් 863,000 පමණ මියගොස්‌ ඇති බව ගණන් බලා ඇත.

රෝගයේ වත්මන් තත්ත්වය

නිසි රෝග මර්දන ක්‍රමවේදයන් අනුගමනය කිරීම නිසා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය සාර්ථක ලෙස පාලනය කර ඇත. වර්ෂ 2000 දී ලක්‍ෂ දෙක ඉක්‌ම වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව මේ වන විට වසරකට රෝගීන් දහසකට අඩු සංඛ්‍යාවකට සීමා කිරීමට අපට හැකි වී ඇත. පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාව තුළ වැඩිම මැලේරියා රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වූයේ මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව, මොණරාගල හා හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක වලිනි.

වර්තමානයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ඉලක්‌කය වී ඇත්තේ වසර 2014 අග වන විට මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමයි.

බෝවන්නේ කෙසේද?

මැලේරියා රෝගය පරපෝෂිතයෙකු මගින් ඇති වන අතර එම පරපෝෂිතයා මිනිස්‌ සිරුරට ඇතුළු වන්නේ මදුරු දෂ්ටනයක්‌ මගිනි. ශ්‍රී ලංකාව තුළ මැලේරියාව බෝකරන්නේ ඇනොෆිලිස්‌ නම් මදුරුවෙකු මගිනි. එම මදුරුවා බෝවන්නේ සෙමෙන් ගලායන හෝ නිශ්චල පිරිසිදු ජලය සහිත, හොඳින් හිරු එළිය වැටෙන තැන්වලය. ගංඉවුරුවල රැඳෙන දිය කඩිති, ගඩොල් වලවල්, නොගැඹුරු මැණික්‌ පතල් ආදිය උදාහරණ ලෙස දැක්‌විය හැකිය.

ශ්‍රී ලංකාව තුළ ප්ලැස්‌මෝඩියම් වයිවැක්‌ස්‌ හා ප්ලැස්‌මෝඩියම් ෆැල්සිපාරුම් යන පරපෝෂිත වර්ග දෙක මැලේරියා රෝගය ඇති කරයි. මෙයින් වැඩි වශයෙන් වාර්තා වන්නේ ප්ලැස්‌මෝඩියම් වයිවැක්‌ස්‌ (95% ක්‌ පමණ) වන අතර එහි ඇති අනතුරුදායක තත්ත්වය වන්නේ එම පරපෝෂිතයා දිගුකලක්‌ රෝගියාගේ අක්‌මාව තුළ සැඟවී සිට නැවත රෝගය ඇති කිරීමේ හැකියාවක්‌ සහිතවීමයි. ෆැල්සිපාරුම් මැලේරියාව අප්‍රිකාව වැනි රටවලට ගොස්‌ පැමිණෙන්නන් අතරින් වැඩි වශයෙන් වාර්තා වන අතර, එමගින් මොලේ මැලේරියාව වැනි භයානක සංකූලතා ඇතිවිය හැක.

රෝගය ඇතිවීමට වැඩි අවදානමක්‌ ඇති පුද්ගලයන්

අප්‍රිකානු සහ සමහර ආසියානු හා දකුණු ඇමරිකානු රටවල මැලේරියාව බහුලව පවතින අතර එවැනි රටවල සංචාරයේ යෙදෙන්නන්ට මැලේරියාව සෑදීමේ වැඩි අවදානමක්‌ ඇත. තවද කැලෑ ආශ්‍රිත රැකියාවල නියුතු හමුදා සේවයේ අය, මැණික්‌ පතල්කරුවන්, හේන් ගොවීන් හා උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි වුවන්ද වර්තමානයේ මැලේරියා රෝගය සඳහා අවදානම් වැඩි කණ්‌ඩායම් ලෙස හැඳින්විය හැක.

මැලේරියාව සෑදී ඇති බව දැනගන්නේ කෙසේද?

ඇඟ වෙව්ලා උණ ගැනීම මැලේරියාවේ සාමාන්‍ය රෝග ලක්‍ෂණයයි. මීට අමතරව හිසරදය, වමනය, ඇඟපතරුදාව වැනි රෝග ලක්‍ෂණ ද දක්‌නට හැක. නමුත් මෙම රෝග ලක්‍ෂණ එලෙසින්ම නොමැති වුවද මැලේරියාව ඇති විය හැක. ඇඟිල්ලක්‌ විද කරන සරල ලේ පරීක්‍ෂණයක්‌ මගින් ඔබට මැලේරියාව සෑදී ඇත්දැයි හඳුනාගත හැකිය.

ඔබ මැලේරියාව සහිත ප්‍රදේශයක වෙසෙන්නේ නම් හෝ එවැනි ප්‍රදේශයකට/රටකට සංචාරය කළේ නම්, ඉහත රෝග ලක්‍ෂණ ඇතිවිට මැලේරියාව සඳහා ලේ පරීක්‍ෂාකරවා ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුය. මේ සඳහා රජයේ ඕනෑම රෝහලකින් නොමිලේ ලේ පරීක්‍ෂා කර ගත හැකිය.

මැලේරියාව සෑදුනහොත් කුමක්‌ කළ යුතුද?

ඔබට සෑදුන මැලේරියා වර්ගය අනුව ප්‍රතිකාර වෙනස්‌ වේ. වයිවැක්‌ස්‌ මැලේරියාවේදී ක්‌ලෝරක්‌වීන් හා ප්‍රිමාක්‌වීන් යන ඖෂධ දෙවර්ගයක්‌ ලබාදේ. මෙයින් ප්‍රිමාක්‌වීන් නැමැති ඖෂධය දින 14 ක්‌ පුරා ලබාගත යුතුය. මැලේරියා පරපෝෂිතයා ඔබ සිරුර තුළ සැඟවී ඉඳ නැවත නැවතත් ඔබට මැලේරියාව සෑදීමේ අවදානම මෙම ප්‍රතිකාර මගින් වලක්‌වාලයි.

ඔබට සෑදී ඇත්තේ ෆැල්සිපාරුම් මැලේරියාව නම්, ඒ සඳහා ඔබ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීම අවශ්‍යය.

මැලේරියාවෙන් වැලකීම මදුරු දෂ්ඨනයෙන් වැලකීම

මදුරු දැලක්‌ යට නිදාගැනීම (බෙහෙත් ගැල්වූ මදුරු දැලක්‌ නම් වඩාත් සුදුසුය) පැඟිරි තෙල් වැනි මදුරු විකර්ෂක ආලේපන ඇඟ ගැල්වීම, සාම්ප්‍රදායික මදුරු විකර්ෂක දුම්/ මදුරු කොයිල්/ වේපරයිසර් ආදිය භාවිතා කිරීම.

මදුරුවන් බෝවන ස්‌ථාන අවම කිරීම/ ඒවායෙහි මදුරුවන් බෝවීම වැලැක්‌වීම.

උදා ( අත්හැර දැමූ පතල් වලවල්, ගඩොල් වලවල් ආදිය වසා දැමීම. වසාදැමිය නොහැකි දිය රැඳෙන තැන්වල ගප්පි වැනි කීටභක්‌ෂක මසුන් ඇති කිරීම.

මැලේරියා රෝගය සහිත රටකට යන්නේ නම්, රෝගය වලක්‌වා ගැනීමේ ප්‍රතිකාරය ලබාගැනීම.

මෙම ප්‍රතිකාරය ඔබ අදාල රටට යාමට පෙර ලබාගත යුතුය. එම ප්‍රතිකාරය හා වලක්‌වා ගැනීමේ උපදෙස්‌ මැලේරියා මර්දන ව්‍යාපාර මුලස්‌ථානයෙන් ලබාගත හැක. එවැනි රටක සංචාරය කර පැමිණි ඔබට උණ වැළදුණහොත් මැලේරියාව සඳහා ලේ පරීක්‍ෂා කර ගන්න.

මැලේරියාව තුරන් කිරීම සඳහා මැලේරියා මර්දන ව්‍යාපාරය මගින් සිදුකරන ජංගම සායන, කෘමිනාශක, ඉසීම් වැනි කාර්යන්වලට ඔබගේ උපරිම සහයෝගය ලබාදීම.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින්
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේදී
පැවැත්වූ දේශනයක්‌ ඇසුරෙනි.


මැලේරියා සහ ඩෙංගු - ඇයි මේ වෙනස

ප්‍රශ්නය-මැලේරියා සහ ඩෙංගු යන රෝග බෝ වන්නේ මදුරුවන් මගිනි. නමුත් ඩෙංගු රෝගය බහුලවම බස්‌නාහිර පළාත තුළත් මැලේරියාව මොනරාගල, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි, වැනි ප්‍රදේශවලත් පැතිරයැමට හේතුව කුමක්‌ද?.

පිළිතුරු-මැලේරියාව බෝකරන මදුරුවන් බහුලවම ජීවත් වන්නේ නිදහසේ ගලායන ජලයේය. එනම් ගංගා ඇළ දොළ ආශ්‍රිතවය. ඩෙංගු බෝකරන මදුරුවන් බහුලවම ජීවත් වන්නේ පොකුණු ටැංකි ළිං, සහ ජලය රැඳී පවත්නා භාජනවලය.

ක්‌ෂය රෝගය, මැලේරියාව සහ එඩ්ස්‌ රෝගය මර්දනය කිරීමේ
ගෝලීය වැඩසටහනේ අධ්‍යක්‍ෂ
වෛද්‍ය ගෞරි ගලප්පත්ති.


උපුටා ගැනීම : www.divaina.com

බරවා

බරවා රෝගය මිනිසාට දිගුකාලීනව විරූපිතා සහ දුබලතා ඇති කළ හැකි රෝගයකි.

මිනිසාගේ වසා පද්ධතිය තුළ පරපෝෂිතයකු ලෙස ජීවත්වන නෙමටොඩි වර්ගයේ කුඩා පණුවකු විසින් බරවා රෝගය ඇති කරයි.

මෙම පරපෝෂිත පණු වර්ග දෙකක්‌ ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. එනම් චුචරේරියා බැන්කොµaටි  බෘගියාමලායි  යන වර්ග දෙකයි. මින් වැඩිපුර වාර්තා වන්නේ වුචරේරියා බැන්කොµaටි වර්ගයේ පරපෝෂිතයන්ය.

මෙම පරපෝෂිතයන් අපගේ ශරීරගතවන්නේ ගැහැනු මදුරුවන් මගිනි.

කියුලෙක්‌ස්‌  වර්ගයේ පරිණත ගැහැනු මදුරුවන් මඟින් වුචරේරියා පරපෝෂිතයන්ද මැන් සෝනියා වර්ගයේ පරිණත ගැහැනු මදුරුවන් මඟින් බෘගියා පරපෝෂිතයන්ද මිනිස්‌ සිරුරට ආසාදනය කරයි.

රෑට ලේ පරීක්‍ෂා කරන හේතුව

මෙම මදුරුවන් ලේ උරා බොන්නේ රාත්‍රී කාලයේදීය. මදුරුවන් මඟින් මිනිසාගේ ශරීරයට ඇතුළුවන බරවා පණුවන්ගේ ජීවිත කාලය වසරක්‌ පමණ වේ.

දිවා කාලයේදී මෙම පණුවන් පෙනහලු වැනි අභ්‍යන්තර රුධිර පද්ධතියේ ජීවත් වෙති. රාත්‍රී කාලයේදී පර්යන්ත රුධිර පද්ධතියට පැමිණේ. එනිසා බරවා රෝගය සඳහා රුධිර පරීක්‍ෂණ පවත්වන්නේ රාත්‍රී කාලයේදීය.

බරවා වාහක ගැහැනු මදුරුවන් මිනිසාගේ ලේ උරාබීමේදී බරවා ක්‌ෂුද්‍ර පණුවන් සිටින පුද්ගලයන්ගේ රුධිරය තුළින් මදුරුවන් තුළට යා හැකිය. එම පණුවන් මදුරුවාගේ ශරීරයේ වර්ධනය වී නැවත මිනිසාගේ ශරීරයට ඇතුළු වේ. එසේ වන්නේද බරවා මදුරුවන් අපගේ ශරීරයේ ලේ උරාබොනවිටදීය.

බරවා රෝග ලක්‍ෂණ

බරවා පණුවන් ශරීර ගතවූ සෑම පුද්ගලයකුටම රෝග ලක්‍ෂණ පහල වන්නේ නැත.

රෝග ලක්‍ෂණ ඇතිවන අවස්‌ථාවේදී පළමුව උණ, මස්‌ පිඬු වේදනාව, සමෙහි ඇතිවන වේදනාකාරී රතු ලප, වසා ප්‍රනාළවල ආසාදනය, කිහිලිවල හා ඉකිලිවල වසා ග්‍රන්ථි ඉදිමුම, අත්, පාද, සන්ධි, පියයුරු, වෘෂණ කෝෂ වැනි අවයව ආශ්‍රිතව ඉදිමුම සහ වේදනාව හටගනී

දීර්ඝ කාලීන රෝග ලක්‍ෂණ

බරවා රෝගය සඳහා නිසි ප්‍රතිකාර ලබා නොගත්විට පියයුරු, අත්, කකුල් සන්ධි ඉදිමුවට ලක්‌වේ. කල් යැමේදී වරින්වර බැක්‌ටීරියා ආසාදනය නිසා අලි කකුල්  ඇතිවීම පටකවල ස්‌වභාවික බාහිර පෙනුම වෙනස්‌වී විරූපිතා ඇතිවිය හැකිය. පිsමි අයගේ වෘෂණ කෝෂ වසා තරලය පිරීම නිසා විශාල වියහැකිය.

බරවා රෝගයට ප්‍රතිකාර

බරවා රෝaගය සඳහා ඖෂධ වර්ග දෙකක්‌ ලබාදේ. ඩයිඊ¨තයිල් කාබඔසින් සිටිටේ්‍රට්‌ (DEC) සහ ඇල්බෙන්ඩසෝල්  යන ඖෂධ වර්ග දෙකය.

ඇල්බෙන්ඩසෝල් පණු බෙහෙත් වර්ගයක්‌ බැවින් ආහාර මාර්ගයේ සිටින සියලුම පණු වර්ගද විනාශ වේ. එනිසා පණු රෝගවලින්ද ආරක්‌ෂා විය හැකිය.

නිවැරදි ඖෂධ මාත්‍රාව

වයස අවුරුදු 15 ට හෝ ඊට වැඩි වැඩිහිටියකුට DEC මිලිග්‍රෑම් 100 පෙති 03 ක්‌ හෝ මිලිග්‍රෑම් 50 පෙති 06 ක්‌ සහ ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 පෙති 01 ක්‌ ලබාදේ.

වයස අවුර eදු 6 - 14 දක්‌වා ළමුන්ට

DEC මිලිග්‍රෑම් 100 පෙති 02 ක්‌ හෝ මිsග්‍රෑම් 50 පෙති 04 ක්‌ සහ ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 පෙති 01 ක්‌ ලබාදේ.

වයස අවුරුදු 2 - 5 දක්‌වා ළමුන්ට

DEC මිලිග්‍රෑම් 100 පෙත්තක්‌ හෝ මිලිග්‍රෑම් 50 පෙති 02 ක්‌ද ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 පෙති 01 ක්‌ද ලබාදේ.

වයස අවුරුදු 02 ට අඩු දරුවන්ට, ගැබිනි මවුවරුන්ට අවුරුදු 02 ට අඩු දරුවකුට කිරිදෙන මවුවරුන්ට සහ අසාධ්‍ය රෝගීන්ට බරවා රෝගය සම්බන්ධව ඖෂධ ප්‍රතිකාර ලබා නොදේ.

ඖෂධ නිසා මතුවන අතුරු ආබාධ මඟ හරවා ගන්න

බරවා රෝගය සඳහා ලබාදෙන ඖෂධ ආහාර වේලක්‌ ගැනීමෙන් පසු භාවිත කිරීම වඩාත් සුදුසුය. එවිට ඇතැම් දෙනා පවසන හිසරදය, ඔක්‌කාරය, කරකැවිල්ල, සම මතුපිට පළු දැමීම ආදී කලාතුරකින් ඇතිවන අතුරු ආබාධ ඇතිවීම මඟහරවා ගත හැකිය.

බොහෝවිට අතුරු ආබාධ ඇතිවන්නේ බරවා පණුවන් ශරීරයේ සිටින පුද්ගලයන්ටය. එම නිසා අතුරු ආබාධ වැඩිපුර මතුවුවහොත් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය.

බරවා රෝගය නිසා ඖෂධවලින් ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයට පත්ව අත්පා ඉදිමුමට ලක්‌වූ විට එම අවයව ඉදිමුමට ලක්‌වූ ස්‌ථාන සැත්කම් මඟින් ඉවත් කළද ඉතිරි කොටස්‌ද නැවත ඉදිමුමට ලක්‌විය හැකිය. නිසා බරවා රෝග සඳහා වසරකට වරක්‌ නිසි ඖෂධ ලබා ගැනීම තුළින් ඉන් සම්පූර්ණයෙන්ම මිදිය හැකිය.

බරවා මදුරුවන් සිටින තැන්

බරවා රෝගය පතුරුවන මදුරුවන් උණුසම් පරිසරය සහිත ප්‍රදේශවල ජීවත් වේ. එනිසා ඔවුන් සීතල පරිසරය සහිත ප්‍රදේශවල දැකගත නොහැකිය.

බරවා මදුරුවන් බිත්තර දමන්නේ අපිරිසිදු ජලයේය. එනම් ජලය එක්‌රැස්‌වන කාණු, කැඩුණුq වැසිකිළිවල, පොල් ලෙලිවල සැල්වීනියා පිස්‌ටියා, ජපන් ජබර ආදී ජලජ පැළෑටි ආශ්‍රිතවය.

බරවා රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. එල්. µරීඩ් සහ එම ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර යන මහත්ම මහත්මීන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැත්වූ දේශන ඇසුරිනි.


උපුටා ගැනීම:  www.divaina.com

ඩෙංගු

වෛරසයක්‌ මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරිරගතවූ අයෙකු බොහෝ විට රෝග ලක්‌ෂණ නොපෙන්වන අතර රෝග ලක්‌ෂණ මතුවූවහොත් එය

* සාමාන්‍ය සුළු උණ තත්ත්වය

* ඩෙංගු උණ (Dengue Fever - DF)

* ඩෙංගු රක්‌තපාත උණ (Dengue
Haemorrhagic Fever - DHF)

* අසමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය ( ඉතා කලාතුරකින් ) විය හැක.

ඩෙංගු බෝවන්නේ කෙසේද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැනු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරිර ගතවූ පුද්ගලයෙකු දෂ්ට කිරීමෙනි.

ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

අසාදිත ඩෙංගු මදුරුවකු විසින් දෂ්aට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක්‌ පවතී. තවද පුද්ගලයෙකුගෙ වයස හා ප්‍රතිශක්‌තිය මත රෝගයේ ස්‌වභාවය වෙනස්‌ විය හැකිය.

උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම ඩෙංගු රක්‌තපාත උණ (DHF) වැනි අවදානම් අවස්‌ථා වලටද පත්විය හැකිය. මෙම අවදානම් අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසුවේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්‌මණින් සුව වන අතර අවදානම් අවස්‌ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මණින් හඳුනාගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‌ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ.

ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

උණ සමඟ පහත රෝග ලක්‌ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය හැකි බවට සැක කළ යුතුය.

* හිසරදය හා ඇස්‌ යට වේදනාව

* මස්‌පිඬු හා සන්ධි වේදනාව

* ඔක්‌කාරය හා වමනය

* සමෙහි රතු පැහැ හට ගැනීම

* රුධිර වහනය තත්ත්වයන්

ඉහත රෝග ලක්‌ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්aනේ අවදානම් අවස්‌ථාවට පත්වන රෝගීන් ඉක්‌මණින් හඳුනා ගැනීමය (උදා( ඩෙංගු රක්‌තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සැදී දින 2 කට පසුව කරනු ලබන සම්පුර්ණ රුධිර පරීක්‌ෂාව FBC - Full Blood Count වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරික්‌ෂාවන් මඟින් ඩෙංගු උණ DF හා ඩෙංගු රක්‌තපාත උණ DHF වෙන්කර හඳුනා ගත නොහැකිය.

ඩෙංගු රෝගය කිහිපවරක්‌ සෑදිය හැකිද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක්‌ ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක්‌ ගොදුරු වූ විට ප්‍රතිශක්‌තිය ඇති වන්නේ එක්‌ ප්‍රභේදයකට පමණක්‌ බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක්‌ ඩෙංගු රෝගය සැදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්‌ථාවේ) වැඩිවේ.

ඩෙංගු උණ වැළඳුන විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?

ඩෙංගු වෛරසය ශරීරගත වන බෙහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන ඒ අනුව කටයුතු කිරිම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරික්‌ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතු ද යන්න තීරණය කරනු ඇත.

ඩෙංගු රක්‌තපාත උණ (DHF) යනු කුමක්‌ද?

ඩෙංගු රක්‌තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වය ඇතිවිය හැකි අවදානම් අවස්‌ථාවකි. උණත් සමඟ ඇතිවන අනිකුත් රෝග ලක්‌ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්‌තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීsම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්‌ෂණය වන රුධිර වාහිනි වලින් පිටතට ( විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට ) ප්ලාස්‌මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදි 03 වන දින හො ඊට පසුව සිදුවන අතර රුධිර පරික්‌ෂා FBC වල වෙනස්‌කම් මඟින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්‌මාව කාන්දු වීම මඟින් කම්පන අවස්‌ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්‌ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‌ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්‌ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.

අවදානම් ලක්‌ෂණ මොනවාද?

* උදරයේ ඇතිවන තද වේදනාව

* නොනවත්වා වමනය පැවතීම

* අධික නිදිමත, නොසන්සුන්බව, අප්‍රාණික බව

* විදුරු මසෙන්, නාසයෙන් රුධිරය වහනය, දුඹුරු පැහැ වමනය සහ කළු පැහැ මළපහ පිටවීම

* පැය 06 කට වැඩි කාලයක්‌ මුත්‍රා පිට නොවීම සහ මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම

අවදානම් ලක්‌ෂණ නොමැතිවද රෝහල් ගත විය යුතු පුද්ගලයින් කවුරුන්ද?

* ගර්භනී මව්වරුන්

* අධි බර සහිත රෝගීන්

* අවුරුදු 1 ට අඩු ළදරුවන්

* වැඩිහිටි පුද්ගලයින්

උණ ඇති විට කුමක්‌ කළ යුතුද?

* වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න.

* උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න. (උපරිම මාත්‍රාව 60mg/kg/24h) තදින් උණ පවතී. නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරිය තැවීම සිදු කරන්න.

* වේදනා නාශක ඖෂධ /Non
Steroidal Anti inflammatory
Druges ( NSAIDS) කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටීරොයිඩ් භාවිතයෙන් වලකින්න.

* සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාගන්න

* උණ පවතින කාලය තුළ මදුරු දෂ්aට කිරීමෙන් හැකිතාක්‌ ප්‍රවේසම් වන්න.

උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර මොනවාද?

* උණ හා වමනය නිසා ඇතිවන විජලනය තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න තැඹිලි වතුර, කැඳ, කිරි, ජිවනි වැනි මුඛ සජලන පානය (Oral
Rehydration Solution - ORS) පලතුරු යුෂ වඩාත් සුදුසුය.

* ළමුන්ට ග්ලුකෝස්‌ වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.

* රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක්‌ ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.

* අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/ දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළපහ) හඳුනා ගැනීම අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වලකින්න.

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකුලතා මොනවද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකුලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්‌තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්‌ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්‌මාව අකර්මන්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකුලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

ඩෙංගු රෝගය ඇති විට මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්‌ෂා විය යුතු වන්නේ ඇයි? ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‌ෂණයක්‌ නොපෙන්වයි. මෙම බීජෞෂණ සමය දින 3 - 14 අතර කාලයක්‌ පවතී..

ඉන්පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2 - 10 අතර කාලයක්‌ පවති. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර එමඟින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

සාමාන්‍යයෙන් ඊඩිස්‌ මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක්‌ යන තුරුද, සවස්‌ කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුරද දෂ්ට කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ඨන වලින් ආරක්‌ෂා විය යුතුය.

තොරතුරු - ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය, සෞඛ්‍ය සහ
දේශීය වෛද්‍ය අමාත්‍යංශය


උපුටා ගැනීම: http://www.divaina.com

කොළරාව

කොළරාව යනු වසංගත රෝගයකි. බොහෝ රෝගීන්ට මෘදු අතීසාරය හෝ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. වඩා අඩු කාලයකදී රෝගීන්ගේ රෝග තත්වය උත්සන්න විය හැක.

රෝග ලක්ෂණ දැඩි අතීසාරය හා වමනය. රෝගියාට ඉක්මන් ප්‍රතිකාර නොලැබුනහොත් විජලනය වැඩිදියුණු විය හැක. රෝගියා පිපාසය, දුර්වලකම් හා මස් පිඩු පෙරලීම ගැන මැසිවිලි නැගිය හැකිය.


වසංගතය වැලදෙන ආකාර
අපිරිසිදු ජලය පානය කිරීම
අපිරිසිදු පළතුරු, එළවළු සහ මුහුදු මාළු ආහාරයට ගැනීමෙන්


වැලකීමට ගත යුතු පියවර
ජලය හොදින් නටනතෙක් උණුකර පානය කිරීම
සනීපාරක්ෂක වැසිකිලි භාවිතා කිරීම 
වසංගත රෝග ඇති වීමට පෙර කොළරා එන්නත එන්නත් කර ගැනීම
වැසිකිළි යාමෙන් පසු අත් සබන් යොදා හොදින් සෝදා ගැනීම


ආහාර වලින් ප්‍රවේසම් වීම
හොදින් පිසූ ආහාර ආහාරයට ගැනීම
ආහාර හොදින් පිස ගැනීම
ආහාර වල උණුසුම ඇති කාලයේ ආහාරයට ගැනීම 
ආහාර පිසින හා ආහාර ගන්නා භාජන හොදින් සෝදා වේලා භාවිතයට ගැනීම
ආහාර පිසීමට පෙර අත් සබන් යොදා හොදින් සෝදා ගැනීම

එච් අයි වී

එච්.අයි.වී. යනු කුමක්ද?

එච්.අයි.වී. යනු වෛරසයකි. ඒඩ්ස් ඇතිවීමට එච්.අයි.වී. ආසාදනය හේතු වේ. මෙම වෛරසය මගින් ශරීරයේ ආරක්ෂිත පද්ධතිය විනාශ කරන අතර එමගින් අනෙක් රෝග සමග සටන් කිරීමේ බලය නැති වී යයි.


එච්. අයි. වී. වෛරසය ශරීරගත වූ සෑම කෙනෙක්ම ඒඩ්ස් තත්ත්වයට පත්වෙනවා ද?
ඔව් සෑම එච්. අයි. වී. ආසාදිතයෙකුම ඒඩ්ස් තත්ත්වයට පත්වෙනවා. එම වෛරසය විනාශ කිරීමට හෝ එච්. අයි. වී. ආසාදිත තත්ත්වයෙන් මිදීමට මේ වන තෙක් කිසිඳු ඖෂධයක් සොයාගෙන නෑ.


නිරෝගී පුද්ගලයකුගේ සිරුරට එච්. අයි. වී. වෛරසය ඇතුළු වෙන්නේ කෙසේ ද?
ක්‍රම තුනකින් සිදුවෙන්න පුළුවනි. ඉන් පළමුවැන්න, එච්. අයි. වී. ආසාදිත පුද්ගලයකු සමඟ සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතාව. දෙවැන්න, ආසාදිත පුද්ගලයකුගේ රුධිරය හෝ රුධිර කොටස් නිරෝගී පුද්ගලයකුගේ රුධිරය සමඟ මිශ්‍ර වීම. තුන්වැන්න, එච්. අයි. වී. ආසාදිත මවකගෙන් දරුවාට ආසාදනය වීම. එය දරුවා ගර්භාෂයේ සිටින විට හෝ දරු ප්‍රසූතියේදී හෝ මවුකිරි මඟින් හෝ සිදුවිය හැකියි.


එච්.අයි.වී. පැතිරෙන්නේ නැති ක්‍රම
හාදු මගින්
වැසිකිළි මගින්
අත් ඇල්ලීමෙන්
කැස්සෙන්
ස්පර්ශයෙන්
කෘමීන්ගෙන්
කදුළු වලින්
ගංගා, තටාක හා මුහුදේ පිහිනීමෙන්


ඒඩ්ස් තත්ත්වයට පත්වූ පුද්ගලයකුගේ ජීවිත කාලය කෙටි වෙනවා ද?
ඉහතින් සඳහන් කළ ආකාරයට ඒඩ්ස් තත්ත්වයට පත්වූ රෝගියකුගේ ජීවිතය ඉතා කෙටියි. එය අවුරුද්දක් දෙකක් පමණ විය හැකියි.
එහෙත් වෛරසය ආසාදනය වී ඒඩ්ස් තත්ත්වයට පත් නොවූ කෙනෙකුට ඉදිරි ජීවිත කාලය යහපත්ව ගතකිරීමේ හැකියාව දැන් තිබෙනවා. ආසාදිත තත්ත්වය හඳුනාගත්තොත් ලබාදෙන නවතම ප්‍රතිකාර ක්‍රම මඟින් රෝගියාගේ ශරීරය තුළ වෛරසය වැඩීම වැළකෙනවා. එමගින් එම පුද්ගලයා ඒඩ්ස් තත්ත්වයට පත්වීමට ගතවන කාලය දීර්ඝ කරගත හැකියි.
ශරීරය තුළ වෛරසය තිබෙන්නේ සුළු ප්‍රමාණයක් නම්, එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණයට ගැටලුවක් මතු වන්නේ නෑ. ආසාදිතයාට ලබාදෙන ප්‍රතිකාර මඟින් ශරීරගත වූ වෛරසය අඩුවීම ඊට හේතුවයි. එවිට එම පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව හොඳ තත්ත්වයකට ගෙන එන්න පුළුවන්.
එවිට වෙනත් රෝගයකට ගොදුරු වීමේ හැකියාව නැතිවී යනවා. එසේ වූ විට එම පුද්ගලයා එච්. අයි. වී. ආසාදිතයකු වුවත් ඔහුට සාමාන්‍ය පහසු ජීවිතයක් ගෙවීමට හැකි වෙනවා.
එයින් පැහැදිලි වන්නේ එච්. අයි. වී. ආසාදනය වුවත් නියමිත වෛද්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබා ගනිමින් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කළහොත් වෙනත් අයකුට රෝගය වැලඳීමේ හැකියාව අඩුවන බවයි; එමෙන්ම ඉදිරි ජීවිත කාලය සාර්ථකව ගත කිරීමට හැකියාව ලැබෙන බවයි.


ඔබ ආසාදනය වී ඇති බව දැන ගැනීමට ඇති පරීක්ෂණ
හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂණයකින්ම පමණයි. යමෙකු තමා කිසියම් අවදානම් සහගත ලිංගික ඇසුරකට යොමුවී යැයි කියා සැක සිතුණොත් එදිනම රුධිර පරීක්ෂාවක් කර ගැනීමෙන් ප්‍රතිඵලයක් අත්වන්නේ නෑ. මෙම පරීක්ෂණයේ නිවැරැදි ප්‍රතිඵල දැන ගැනීමට අවදානම් සහගත ලිංගික හැසිරීමකට යොමුවී මාස තුනකවත් කාලයක් ගත විය යුතුයි. මාස තුනකදී ඉතා නිවැරදිව ඒ බව කිව හැකියි. ඒ නිසයි එච්.අයි.වී. සඳහා කරනු ලබන පළමු පරීක්ෂණය සිදු කර මාස තුනකට පසුව නැවත පරීක්ෂණයක් සිදු කරන්නේ.
නමුත් ඕනෑම අවස්ථාවක ලිංගාශි‍්‍රත රෝග සායනයකට ගොස් රුධිර පරීක්ෂාවක් කර ගැනීම වැදගත්. ඒ නිසා නොදන්නා සහකරුවකු, සහකාරියක සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතාවක් පැවැත්වූවේ නම්, සමලිංගික සබඳතාවකට යොමු වූයේ නම්, මත්ද්‍රව්‍ය විදීමට ගන්නා උපකරණ හුවමාරු කරගන්නා අයෙකු නම්, ඔබේ සහකරු හෝ සහකාරිය ඔබ හැර වෙනත් අය සමඟ ලිංගික සබඳතා පවත්වන බව දන්නේ නම් හෝ හැඟේ නම්, වහාම රුධිර පරීක්ෂණයකට යොමුවීම වැදගත්. එමඟින් තමාගේ එච්.අයි.වී. ආසාදිත තත්ත්වය පිළිබඳව නිශ්චිතවම කල්තියා දැනගත හැකියි.
එසේ වෛරසය ශරීරගතවී ඇති බව ඔප්පු වුණොත් නොමිලයේම ලබාදෙන ප්‍රතිකාරවලට සහ උපදේශන සේවාවලට යොමුවිය හැකියි. ඊටත් අමතරව වෙනත් අයකුට තමාගෙන් බෝවීම වළක්වා ගත හැකියි. විශේෂයෙන්ම ගර්භණී මවක නම්, කුස තුළ සිටින දරුවාට ආසාදනය පැතිරීම වළක්වා ගත හැකියි.
කිසියම් බිරියක් සිතනවා නම් තමාගේ සැමියා වෙනත් කාන්තාවක් ඇසුරු කරනවා යැයි කියා ඒ සඳහා සාධක ද ඇත්නම් බිරිය රුධිර පරීක්ෂණය සිදුකර ගැනීම සුදුසුයි. එවැනි ගැටලුවලට මුහුණ දුන් ඕනෑතරම් බිරියන් ලිංගාශ්‍රිත රෝග සායනවලට පැමිණෙනවා. ලිංගාශ්‍රිත රෝග සායනයකට යාම ඉතාම නුසුදුසු දෙයක්, එය මදිකමක්, ලජ්ජාවට කරුණක් යැයි කිසි විටෙකත් සිතිය යුතු වන්නේ නෑ.
ඒවා පැරණි මත. ලිංගාශ්‍රිත රෝගයක හෝ එච්.අයි.වී. ආසාදනයක සැකයක් ඇත්නම් වඩාත්ම සුදුසු වන්නේ සායනයකට ගොස් වෛද්‍යවරුන් හමුවී තම ගැටලුව පවසා තමාගේ සැකය දුරු කර ගැනීමයි.


මෙහිදී ලබාදෙන ඖෂධ වෙනත් ඖෂධ වගේමද?
එච්.අයි.වී. ආසාදිතයන් සඳහා ලබාදෙන ඖෂධ හිසරදයට, උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබාදෙන ඖෂධ සේ සරලව සිතීම සුදුසු වන්නේ නෑ. එම ඖෂධ දිනයේ නියමිත වේලාවකටම දිනපතා ජීවිත කාලය පුරාම ගත යුතු වෙනවා. ඖෂධ පටන් ගැනීමට පෙර වෛද්‍යවරුන් මේ පිළිබඳව රෝගියා සමඟ දිගින් දිගටම සාකච්ඡා කරනවා. එසේ සාකච්ඡා කිරීමෙන් පසුවයි රෝගියා ඖෂධ ලබාගත යුතු වේලාව පිළිවෙළ තීරණය වන්නේ.
එහිදී තීරණය කරගන්නා නිශ්චිත වේලාවකටම ඖෂධය ලබාගැනීම ඉතා වැදගත්. එසේ නොවුණහොත් එම ඖෂධවලින් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඖෂධ ගැනීමේ නිසි පිළිවෙළක් නැතිනම්, ශරීරය තුළ වෙනස් වෙනස් ආකාරයේ වෛරස නිර්මාණය වෙනවා. එය විශාල ගැටලුවක්. එවිට රෝගියාට දීමට සුදුසු ඖෂධ නැතිව යනවා


එච්.අයි.වී. වෛරසය විනාශ කිරීමට හෝ මර්දනය කිරීමට විකල්ප වෛද්‍ය ක්‍රම තිබෙනවාද?
වෛරසය විනාශ කරන්න ඖෂධයක් තවම සොයා ගෙන නෑ. බටහිර වෛද්‍ය ක්‍රම සහ ඖෂධ මඟින් වෛරසය හොඳින් පාලනය කළ හැකියි. එච්.අයි.වී. සඳහා කරන බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතරමග නවතා විකල්ප වෛද්‍ය ක්‍රමවලට යොමුවීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. එයින් සිදුවන්නේ රෝගියාගේ ජීවිතය කෙටිවීම පමණයි.



උපදංශය/සිපිලිස්

ලිංගිකව හා රුධිරය හරහා මේ රෝගය සම්ප්‍රේෂණය වෙනවා. මෙය මවගෙන් දරුවාට බෝවීමේ ඉඩකඩ වැඩියි. එමෙන්ම මේ රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ වගේම සුව වූ අයෙකුගෙන් තවත් කෙනෙකුට මේ රෝගය බෝවන්නේ නැහැ.

මෙම විෂබීජය ශරීරයට ඇතුළු වී මාස 03 ක කාලයක් ඇතුළත ප්‍රාථමික උපදංශ රෝග ලක්‍ෂණ පහළ වෙනවා. ලිංගේන්ද්‍රියේ එක් තුවාලයක් හෝ තුවාල දෙකක් සෑදෙනවා. මේ තුවාලය ගැඹුරු තුවාලයක් වුවත් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. තුවාල නිසා වසා ගැටිති (කුද්දටි) ඉදිමීම සිදුවුවත් එහිදී ද වේදනාවක් දැනෙන්නේ නැහැ.

මේ තුවාල ස්වභාවිකව සුව වුණත් නිවැරදිව ප්‍රතිකාර නොකිරීම නිසා රෝග කාරක බැක්ටීරියාව ශරීරයේ ඉතිරිවීමෙන් ද්විතීක උපදංශ රෝගී තත්ත්වය ඇතිවිය හැකියි. මේ තත්ත්වය මාස 06 ක් 07 ක් ඇතුළත දී ශරීරයේ පලු හැටියට මතු වෙනවා. මේ පලු නිසා ශරීරය කිසිඳු කැසීමකට ලක් වන්නේ නැහැ. ශරීරය පුරා (ඉකිලි, ගෙල, කිහිලි) කුද්දටි මතුවීමත් මුඛයේ තුවාල ඇතිවීමත් ලිංගේන්ද්‍රියේ ගැටිති ඇතිවීමත්, කවාකාරව තැනින් තැන හිසකෙස් ගැලවී යාමත් දැකිය හැකියි.

රෝගියාගෙන් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන විට දී රෝගී අවස්ථාව හඳුනා ගැනීම පසු උපදංශය ලෙස හැඳින්වෙනවා. මේ තත්ත්වය උදා වන්නේ රෝගියා විසින් වෙනත් කටයුත්තක් සඳහා රුධිර පරීක්‍ෂණයකට යොමුවීමේ දීයි. ගර්භණී සායනයේ දී, විදෙස් ගත වීමක් සඳහා කෙරෙන රුධිර පරීක්‍ෂණයක දී හෝ රජයේ රැකියාවකට යාම සඳහා කෙරෙන රුධිර පරීක්‍ෂණයක දී මේ රෝගී තත්ත්වය හඳුනාගත හැකි වෙනවා.

උපදංශය සඳහා කෙරෙන මූලික පරීක්‍ෂණය වන VDRL පරීක්‍ෂණයේ දී රියැක්ටිව් (Reactive) හා නන් රියැක්ටිව් (Nonreactive) ලෙස වාර්තාව ලැබෙනවා. පරීක්‍ෂණය් ප්‍රතිඵලය රියැක්ටිවි නම් උපදංශය ඇතැයි සැක කළ හැකියි. නමුත් මෙහිදී සියයට සීයක්ම නිවැරදිව උපදංශය ඇතැයි නිගමනය කළ නොහැකියි.

මේ පරීක්‍ෂණය රියැක්ටිව් ලෙස ලැබෙන්නට හැකියාව ඇති වෙනත් රෝග ලක්‍ෂණ ද තිබෙනවා. කල්ගත සන්ධි ආබාධ (ආතරයිටීස්), පෙනහල්ල ආශි‍්‍රතව ඇතිවෙන වෛරස් ආසාදන, මැලේරියාව, බරවා, ලාදුරු වැනි රෝග සෑදී ඇත්නම් ප්‍රතිඵලය රියැක්ටිව් ලෙස ලැබිය හැකියි. රියැක්ටිව් අගය අඩු නම් උපදංශ රෝගය නොවීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.

උපදංශ රෝගී තත්ත්වයම දැයි තහවුරු කර ගැනීම සඳහා T P H A පරීක්‍ෂණය කළ හැකියි. මේ පරීක්‍ෂණය පොසිටිව් නම් පසු උපදංශ රෝගියෙකු බවට නිවැරැදිව තහවුරු කළ හැකියි. මෙවැනි අවස්ථාවක දී ද නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් උපදංශ රෝගය නිට්ටාවට සුවකර ගත හැකි වෙනවා. ඉන්පසු ලිංගික ගැටලු හෝ විවාහයට බාධා හෝ ඇතිවන්නේ නැහැ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා

ලිංගික හර්පිස්‌

රෝග කාරකය, මෙය හර්පිස්‌ සිම්ප්ලෙක්‌ස්‌ නම් වෛරසයක්‌ මගින් බෝවේ.

රෝගය බෝවන ආකාරය( මෙය ප්‍රධාන වශයෙන් ලිංගික සම්බන්ධතා මගින් බෝවේ. ශරීරයේ ශ්ලේෂ්මල පටල එකිනෙක ගැටෙන යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේදී මෙම වෛරසය කෙනකුගෙන් තව කෙනකුට බෝවේ. මීට අමතරව ආසාධිත මවකගෙන් තම යෝනියෙන් බිහිවන දරුවාටද යෝනි පටක හා ස්‌පර්ශ වීමේදී වෛරසය බෝවිය හැකිය.

රෝග ලක්‍ෂණ 

මෙහිදී කොටසකට රෝග ලක්‍ෂණ සහිත ආසාදන ඇතිවන අතර තවත් කොටසකට රෝග ලක්‍ෂණ රහිත ආසාදන ඇති වේ.

රෝග ලක්‍ෂණ සහිත ආසාදන( පවත්වන ලද ලිංගික සම්බන්ධයේදී ස්‌පර්ශ වූ ශ්ලේෂ්මල පටල ආශ්‍රිතව කුඩා වේදනාකාරි තුවාල සමූහයක්‌ ඇති වේ. මේවා සාමාන්‍යයෙන් ශිෂ්ණයේ, යෝනි තොල් හා අවට ප්‍රදේශයේ, ගුද මාර්ගය අවට හෝ මුඛයේ තොල් හා උගුරේ ඇති වේ. මෙම ලක්‍ෂණ සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධයේ සිට දින 2-5 පමණ ගතවීමත් සමඟම ඇති වේ. ගිහාන්ගේ රෝග ලක්‍ෂණ ඇතිවුණේ දින 4 කට පස්‌සෙයි. මීට අමතරව ශරීරයේ උණ ගතිය, මස්‌පිඩු වේදනාව, තුවාල ආශ්‍රිත ප්‍රදේශවල වසාගැටිති ඉදිමීමද දැකිය හැකිය.

එක්‌වරක්‌ මෙම ලිංගික හර්පිස්‌ තුවාල ඇතිවූ විට එය නැවත නැවත එම ප්‍රදේශයේම තුවාල ඇතිකරයි. මෙය පුනරාවර්තන හර්පිස්‌ (Recurrent Herpes) ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් මෙය මාස තුනකට වරක්‌ ඇතිවිය හැකි අතර කල්ගතවත්ම තුවාල හැදෙන වාර ගණන, තුවාල ගණන, හා වේදනාකාරී ස්‌වභාවය ක්‍රමයෙන් අඩුවී යයි.

රෝග ලක්‍ෂණ රහිත ආසාදන( බහුතරයක්‌ම සිදුවන ආසාදන (80%) බාහිර රෝග ලක්‍ෂණ නොපෙන්වයි. එහෙත් ලිංගික සම්බන්ධතාවලදී රෝගය තව කෙනකුට බෝවිය හැකිය.

රෝගය හඳුනාගැනීම( රෝග ඉතිහාසය, රෝග ලක්‍ෂණ වල ස්‌වභාවය, තුවාල පාදයේ ශ්‍රාව පටල පරීක්‍ෂණ, වෛරස රෝපණය හෝ ප්‍රතිදේහ පරීක්‍ෂණ මගින් රෝගය හඳුනාගත හැක.



ලිංගික හර්පිස්‌ වලදී මුහුණදීමට සිදුවන ගැටලු

1. රෝගය ප්‍රතිකාර මගින් නිට්‌ටාවට සුව කළ නොහැකි වුවත් පාලනය කළ හැකිය. මෙහිදී විශේෂ බරපතල ශාරීරික හානි සිදු නොවේ. ප්‍රතිකාර නොමැතිව වුවත් එය ස්‌වභාවයෙන්ම පාලනය වේ. නමුත් විටින් විට රෝග ලක්‍ෂණ ඇතිවීම නිසා සිතේ කනස්‌සල්ල, බිය හා පීඩාව ඇතිවේ.

ප්‍රතිකාර


මෙහිදී ප්‍රති වෛරස ඖෂධ මගින් ප්‍රතිකාර කරනු ලැබේ. ඒ සඳහා ලිංගාශ්‍රිත රෝග සායනයක්‌ වෙත යොමු වන්න. සෑම ප්‍රධාන රෝහලකම ලිංගාශ්‍රිත රෝග සායනයන් පවතී.

රෝගය වලක්‌වා ගැනීම සඳහා විවාහය තෙක්‌ ලිංගික සබඳතා ප්‍රමාද කරන්න.

අනොන්‍ය වශයෙන් විශ්වාසවන්ත තමාගේ විවාහක පුරුෂයා හෝ භාර්යාව සමඟ පමණක්‌ ලිංගික සබඳතා පවත්වන්න. නොහැකිනම් අනිවාර්යයෙන්ම කොන්ඩමයක්‌ පාවිච්චි කරන්න.

වෛද්‍ය අජිත් කරවිට,
සමාජරෝගවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
ශික්‌ෂණ රෝහල, අනුරාධපුර.


උපුටා ගැනීම: www.divaina.com