Tuesday, November 15, 2016

ඇසේ සුද

උපතින්ම අන්ධවීමට වඩා ඇසේ පෙනීම හොඳින් තිබී අන්ධභාවයට පත්වීම දරාගත නොහැකි තරම් වේදනාවකි. එම වේදනාව මොතොතකට හෝ අත්විඳීමට අප අකමැතිය. ඊට කදිම නිදසුනක්‌ දක්‌වතොත් ඔබ මොහොතක්‌ තදින් ඇස්‌ පියා ගන්න. ඔබට කෙතරම් අන්ධකාර බවක්‌ දැනේද? එය මුළු දිවි ඇති තුරාවට පැවතිය හොත් අනේ එහෙම නම් වෙන්න එපා යෑයි ඔබ කියනු ඇත. නමුත් එසේ පැවසුවාට පළක්‌ නැත. එසේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගත යුතුය.

ලෝකයේ මේ වන විට අන්ධභාවයට පත්විය හැකි දෘෂ්ඨි ආබාධ අතරින් ඇසේ සුද (Cataract) පළමු ස්‌ථානයේ පවතී. ඇසේ සුද ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය සොයාගෙන වසර 500 ක්‌ පමණ ගතවී ඇත. ඉන්දීය ජීවකයකු වන සුසත්‍ර නමැති අක්‌ෂි වෛද්‍යවරයා විසින් පළමු වරට ඇසේ සුද ඉවත් කිරීමේ ප්‍රතිකාරය සිදු කරන ලදී. එදා ඔහු එය සිදු කරන ලද්දේ ඉඳිකටුවකිනි. ඇසේ මතුව ඇති සුද ඇස පිටුපසට තල්ලුකර දැමීම ඔහු විසින් සිදු කරනු ලැබූ ප්‍රතිකාර ක්‍රමයයි. වර්තමානයේ එම ප්‍රතිකාර ක්‍රමය කෙතරම් දියුණු තත්ත්වයකට පත්ව ඇතිදැයි කිවහොත් සැත්කමකින් තොරව ඇසේ සුද ඉවත් කිරීම දක්‌වාවූ ප්‍රතිකාර ක්‍රම පවතී.

ඇසේ සුද

ඇසේ සුද ඇතිවීම යනු ඇස තුළ ඇති කාචයේ විනිවිද බව අඩුවී යැමය. එය උපතින්ම හෝ පසුකාලීනව ඇතිවිය හැකිය. එනම් මැදිවියට යනවිට, දිය වැඩියාව රෝගය නිසා, ස්‌ටිරොයිඩ් වර්ගයේ ඖෂධ දිගුකාලයක්‌ ගන්නා විට සහ ඇසට ඇතිවූ අනතුරකදීය. එවිට සිදුවන්නේ අක්‌ෂි කාචයේ ඇති ප්‍රොaටීන සංයුතිය වෙනස්‌ වීමය. සිරුරේ වැඩිම ප්‍රොaටීන ප්‍රමාණයක්‌ පවතින්නේද අක්‌ෂි කාචයේය. එය 30% පමණ ප්‍රමාණයකි.

ඇසේ සුද වර්ග

ඇසේ සුද වර්ග තුනකි. අක්‌ෂි කාචය ආවරන පටලයේ (Capsule) මතුවූ සුද අක්‌ෂි කාචය මැද (Cortex) මතු වූ සුද සහ අක්‌ෂි කාචය ඇතුළත පටලයෙහි (Nuclens) ඇතිවූ සුද එම වර්ග තුනයි.

ආවරණ පටලයේ සුද (Capsule)

අක්‌ෂිකාචයේ ආවරණ පටලයේ සුද මතුවීම දැකිය හැක්‌කේ උපතින්ම ඇසේ සුද ඇති අයගේය. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ ගැබිණි සමයේදී මවට රුබෙල්ලා උණ මතුවූ විටදීය.

මැද පටලයේ සුද (Cortex)

දියවැඩියාව සහ ස්‌ටිරොයිඩ් වර්ගයේ ඖෂධ දිගු කාලයක්‌ ගන්නා අයගේ ඇසේ සුද අක්‌ෂි කාචය මැද පටලයෙහි ඇතිවේ.

ඇතුළත පටලයේ සුද (Nuclens)

මැදිවියට පත්වන විට එනම් වයස අවුරුදු 60-80 අතර වියේදී ඇසේ සුද මතුවන්නේ අක්‌ෂි කාචය ඇතුළත පටලයේය.

ඇසේ සුදට ප්‍රතිකාර

ඇසේ සුදට ප්‍රතිකාර කිරීමේදී සුද ඇතිවී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. උපතින්ම ඇසේ සුද ඇතිවූ දරුවකුගේ ඉපදී දින 2-3 න් අතර කාලයකදී සුද ඉවත් කිරීමේ ප්‍රතිකාරය කරනු ලැබේ.

උපතින්ම ඇතිවූ සුද ඉතා ඉක්‌මණින් ඉවත් කළ යුත්තේ එසේ නොවුන හොත් අලස ඇස තත්ත්වය ඇතිවිය හැකි නිසාය. එසේම වපරය ඇතිවීමට ද පිළිවන.

ඇසේ සුද යනු වෛරස හෝ බැක්‌ටීරියා ආසාදනයක්‌ නොවේ. එබැවින් උපතින් පසු සුද මතුවූ අයගේ ඊට ප්‍රතිකාර කරනු ලබන්නේ එය වර්ධනය වන ආකාරය සහ ඇසේ සුද නිසා පෙනීම දුර්වල වන ප්‍රමාණය අනුවය.

මතුව ඇති සුද නිසා ඇස්‌ කණ්‌ණාඩි පැළඳීමේදීද පෙනීම දුර්වලවේ නම් වහාම සුද ඉවත් කළ යුතුය.

ඇසට අනතුරක්‌ ඇතිවූ විට මතුවන සුද ඉතා ඉක්‌මනින් වර්ධනය වේ. එබැවින් ඇසට අනතුරක්‌ සිදුවූ විට වහාම අක්‌ෂි වෛද්‍යවරයකු වෙත ගොස්‌ ඇස පරීක්‍ෂා කරගත යුතුය.

ඇසේ සුද ඉවත් කළ පසු නැවත එය වර්ධනය නොවේ. වර්තමානයේ නවීන තාක්‌ෂණික ක්‍රම භාවිතා කරමින් ඇසේ සුද ඉවත් කිරීමේ ප්‍රතිකාර කරනු ලබයි. එනම් ලේසර් කිරණ භාවිතා කරමින් ප්‍රතිකාර කරයි. මෙම ප්‍රතිකාරයේදී සුද ඉවත් කිරීමෙන් පසු ඇසට අක්‌ෂි කාචයක්‌ යෙදීමේදී සැත්කමකින් තොරව එන්නත් කටුවක්‌ පමණක්‌ භාවිත කර අක්‌ෂි කාචය ඇසට ඇතුළු කරනු ලැබේ.

දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරන නවීනතම ප්‍රතිකාරය වනුයේ අල්ට්‍රා සවුන්ඩ් ප්‍රතිකාර ක්‍රමයයි. (Phaco Emul sifi Cation)

දියවැඩියාව නිසා ඇසේ සුද මතුවන්නේ රුධිර සීනි ප්‍රමාණය මිලි ග්‍රෑම් 200 ට වැඩි වූ විටදීය. එබැවින් දිය වැඩියාව පාලනය කර ගැනීමෙන් සුද ඇතිවීම සහ මතුවූ සුද වර්ධනය වීම පාලනය කරගත හැකිය.

මැදිවියට යන විට ඇසේ සුද මතුවීම නිතර හිරු එළියට නිරාවරණය වන රටවල ජනතාවට වයස අවුරුදු 50-60 වන විට ඇති විය හැකිය. හිරු එළියට නිතර ඇස්‌ නිරාවරණය නොවන රටවල ජීවත්වන පුද්ගලයන්ට වයස අවුරුදු 60-80 අතර වියේදී ඇසේ සුද මතුවේ.

සුද ඉවත් කළ පසු

වර්තමානයේ අප රටේ සැත්කම් මගින් සුද ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය පමණක්‌ භාවිතා කරන නිසා සැත්කමින් පසු නිසි වෛද්‍ය උපදෙස්‌ අනුගමනය කළ යුතුය. එය අදාළ සැත්කම අනුව තීරණය වේ.

අල්ට්‍රාසවුන්ඩ් ක්‍රමයට සුද ඉවත් කර කාච යෙදූ විට පැය 24 කින් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

සැත්කම් සිදුකර ඇසේ සුද ඉවත් කර මැහුම් යොදමින් අක්‌ෂි කාචය යෙදූ විට මාස 11/2 ක්‌ පමණ යනතුරු බර වැඩ කිරීමෙන් වැලකීම, තද ආහාර වර්ග සැපීම සිදු නොකිරිම සපත්තුවේ ලේස්‌ ගැට ගැසීම වැනි හිස පහත් කර සිදු කරන කටයුතු නොකිරීම ආදිය සිදු කරමින් නිසි පරිදි ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය.

ඇසේ සුද ඉවත් කළ පසු ඇස්‌ කණ්‌ණාඩි භාවිතය සඳහා යොමුවිය යුත්තේ එය සිදුකර මාසයක්‌ පමණ ගතවූ පසුය.


නරේෂ් ප්‍රදාන්
දෘෂ්ඨි විශේෂඥ,
වැඩසටහන් අධ්‍යක්‍ෂ,
අයි කෙයාර් අධ්‍යාපන ආයතනය


උපුටා ගැනීම : www.divaina.com

No comments:

Post a Comment