Saturday, November 5, 2016

මැලේරියාව

මොළේ මැලේරියා වැනි සංකුලතා ඇති විය හැකි නිසා මැලේරියාව යනු මාරාන්තික විය හැකි රෝගයකි. මැලේරියාව ලෝක ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඈත අතීතයේ සිටම වාර්තා වූ රෝගයකි. විටෙක එය මිනිස්‌ ජීවිත දහස්‌ ගණනක්‌ බිලි ගනිමින් වසංගත තත්ත්වයෙන් හිස ඔසවා ඇත. ශ්‍රී ලංකාවේද 1934 -1935 කාල සීමාවේදී ඇති වු මැලේරියා වසංගතයෙන් රෝගීන් 82,000 ක්‌ පමණ මිය ගොස්‌ ඇත.

මැලේරියාව ඝර්ම කලාපීය රටවල බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. වත්මන් ලෝකයේ රටවල් 110 කින් පමණ මැලේරියාව වාර්තාවන අතර ලෝක ජනගහනයෙන් අඩක්‌ පමණ මැලේරියාව සෑදීමේ අවදානමකට ලක්‌වේ. 2008 වසරේදී මැලේරියාව නිසා ලොව පුරා මිනිසුන් 863,000 පමණ මියගොස්‌ ඇති බව ගණන් බලා ඇත.

රෝගයේ වත්මන් තත්ත්වය

නිසි රෝග මර්දන ක්‍රමවේදයන් අනුගමනය කිරීම නිසා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය සාර්ථක ලෙස පාලනය කර ඇත. වර්ෂ 2000 දී ලක්‍ෂ දෙක ඉක්‌ම වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව මේ වන විට වසරකට රෝගීන් දහසකට අඩු සංඛ්‍යාවකට සීමා කිරීමට අපට හැකි වී ඇත. පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාව තුළ වැඩිම මැලේරියා රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වූයේ මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව, මොණරාගල හා හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක වලිනි.

වර්තමානයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ඉලක්‌කය වී ඇත්තේ වසර 2014 අග වන විට මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමයි.

බෝවන්නේ කෙසේද?

මැලේරියා රෝගය පරපෝෂිතයෙකු මගින් ඇති වන අතර එම පරපෝෂිතයා මිනිස්‌ සිරුරට ඇතුළු වන්නේ මදුරු දෂ්ටනයක්‌ මගිනි. ශ්‍රී ලංකාව තුළ මැලේරියාව බෝකරන්නේ ඇනොෆිලිස්‌ නම් මදුරුවෙකු මගිනි. එම මදුරුවා බෝවන්නේ සෙමෙන් ගලායන හෝ නිශ්චල පිරිසිදු ජලය සහිත, හොඳින් හිරු එළිය වැටෙන තැන්වලය. ගංඉවුරුවල රැඳෙන දිය කඩිති, ගඩොල් වලවල්, නොගැඹුරු මැණික්‌ පතල් ආදිය උදාහරණ ලෙස දැක්‌විය හැකිය.

ශ්‍රී ලංකාව තුළ ප්ලැස්‌මෝඩියම් වයිවැක්‌ස්‌ හා ප්ලැස්‌මෝඩියම් ෆැල්සිපාරුම් යන පරපෝෂිත වර්ග දෙක මැලේරියා රෝගය ඇති කරයි. මෙයින් වැඩි වශයෙන් වාර්තා වන්නේ ප්ලැස්‌මෝඩියම් වයිවැක්‌ස්‌ (95% ක්‌ පමණ) වන අතර එහි ඇති අනතුරුදායක තත්ත්වය වන්නේ එම පරපෝෂිතයා දිගුකලක්‌ රෝගියාගේ අක්‌මාව තුළ සැඟවී සිට නැවත රෝගය ඇති කිරීමේ හැකියාවක්‌ සහිතවීමයි. ෆැල්සිපාරුම් මැලේරියාව අප්‍රිකාව වැනි රටවලට ගොස්‌ පැමිණෙන්නන් අතරින් වැඩි වශයෙන් වාර්තා වන අතර, එමගින් මොලේ මැලේරියාව වැනි භයානක සංකූලතා ඇතිවිය හැක.

රෝගය ඇතිවීමට වැඩි අවදානමක්‌ ඇති පුද්ගලයන්

අප්‍රිකානු සහ සමහර ආසියානු හා දකුණු ඇමරිකානු රටවල මැලේරියාව බහුලව පවතින අතර එවැනි රටවල සංචාරයේ යෙදෙන්නන්ට මැලේරියාව සෑදීමේ වැඩි අවදානමක්‌ ඇත. තවද කැලෑ ආශ්‍රිත රැකියාවල නියුතු හමුදා සේවයේ අය, මැණික්‌ පතල්කරුවන්, හේන් ගොවීන් හා උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි වුවන්ද වර්තමානයේ මැලේරියා රෝගය සඳහා අවදානම් වැඩි කණ්‌ඩායම් ලෙස හැඳින්විය හැක.

මැලේරියාව සෑදී ඇති බව දැනගන්නේ කෙසේද?

ඇඟ වෙව්ලා උණ ගැනීම මැලේරියාවේ සාමාන්‍ය රෝග ලක්‍ෂණයයි. මීට අමතරව හිසරදය, වමනය, ඇඟපතරුදාව වැනි රෝග ලක්‍ෂණ ද දක්‌නට හැක. නමුත් මෙම රෝග ලක්‍ෂණ එලෙසින්ම නොමැති වුවද මැලේරියාව ඇති විය හැක. ඇඟිල්ලක්‌ විද කරන සරල ලේ පරීක්‍ෂණයක්‌ මගින් ඔබට මැලේරියාව සෑදී ඇත්දැයි හඳුනාගත හැකිය.

ඔබ මැලේරියාව සහිත ප්‍රදේශයක වෙසෙන්නේ නම් හෝ එවැනි ප්‍රදේශයකට/රටකට සංචාරය කළේ නම්, ඉහත රෝග ලක්‍ෂණ ඇතිවිට මැලේරියාව සඳහා ලේ පරීක්‍ෂාකරවා ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුය. මේ සඳහා රජයේ ඕනෑම රෝහලකින් නොමිලේ ලේ පරීක්‍ෂා කර ගත හැකිය.

මැලේරියාව සෑදුනහොත් කුමක්‌ කළ යුතුද?

ඔබට සෑදුන මැලේරියා වර්ගය අනුව ප්‍රතිකාර වෙනස්‌ වේ. වයිවැක්‌ස්‌ මැලේරියාවේදී ක්‌ලෝරක්‌වීන් හා ප්‍රිමාක්‌වීන් යන ඖෂධ දෙවර්ගයක්‌ ලබාදේ. මෙයින් ප්‍රිමාක්‌වීන් නැමැති ඖෂධය දින 14 ක්‌ පුරා ලබාගත යුතුය. මැලේරියා පරපෝෂිතයා ඔබ සිරුර තුළ සැඟවී ඉඳ නැවත නැවතත් ඔබට මැලේරියාව සෑදීමේ අවදානම මෙම ප්‍රතිකාර මගින් වලක්‌වාලයි.

ඔබට සෑදී ඇත්තේ ෆැල්සිපාරුම් මැලේරියාව නම්, ඒ සඳහා ඔබ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීම අවශ්‍යය.

මැලේරියාවෙන් වැලකීම මදුරු දෂ්ඨනයෙන් වැලකීම

මදුරු දැලක්‌ යට නිදාගැනීම (බෙහෙත් ගැල්වූ මදුරු දැලක්‌ නම් වඩාත් සුදුසුය) පැඟිරි තෙල් වැනි මදුරු විකර්ෂක ආලේපන ඇඟ ගැල්වීම, සාම්ප්‍රදායික මදුරු විකර්ෂක දුම්/ මදුරු කොයිල්/ වේපරයිසර් ආදිය භාවිතා කිරීම.

මදුරුවන් බෝවන ස්‌ථාන අවම කිරීම/ ඒවායෙහි මදුරුවන් බෝවීම වැලැක්‌වීම.

උදා ( අත්හැර දැමූ පතල් වලවල්, ගඩොල් වලවල් ආදිය වසා දැමීම. වසාදැමිය නොහැකි දිය රැඳෙන තැන්වල ගප්පි වැනි කීටභක්‌ෂක මසුන් ඇති කිරීම.

මැලේරියා රෝගය සහිත රටකට යන්නේ නම්, රෝගය වලක්‌වා ගැනීමේ ප්‍රතිකාරය ලබාගැනීම.

මෙම ප්‍රතිකාරය ඔබ අදාල රටට යාමට පෙර ලබාගත යුතුය. එම ප්‍රතිකාරය හා වලක්‌වා ගැනීමේ උපදෙස්‌ මැලේරියා මර්දන ව්‍යාපාර මුලස්‌ථානයෙන් ලබාගත හැක. එවැනි රටක සංචාරය කර පැමිණි ඔබට උණ වැළදුණහොත් මැලේරියාව සඳහා ලේ පරීක්‍ෂා කර ගන්න.

මැලේරියාව තුරන් කිරීම සඳහා මැලේරියා මර්දන ව්‍යාපාරය මගින් සිදුකරන ජංගම සායන, කෘමිනාශක, ඉසීම් වැනි කාර්යන්වලට ඔබගේ උපරිම සහයෝගය ලබාදීම.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින්
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේදී
පැවැත්වූ දේශනයක්‌ ඇසුරෙනි.


මැලේරියා සහ ඩෙංගු - ඇයි මේ වෙනස

ප්‍රශ්නය-මැලේරියා සහ ඩෙංගු යන රෝග බෝ වන්නේ මදුරුවන් මගිනි. නමුත් ඩෙංගු රෝගය බහුලවම බස්‌නාහිර පළාත තුළත් මැලේරියාව මොනරාගල, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි, වැනි ප්‍රදේශවලත් පැතිරයැමට හේතුව කුමක්‌ද?.

පිළිතුරු-මැලේරියාව බෝකරන මදුරුවන් බහුලවම ජීවත් වන්නේ නිදහසේ ගලායන ජලයේය. එනම් ගංගා ඇළ දොළ ආශ්‍රිතවය. ඩෙංගු බෝකරන මදුරුවන් බහුලවම ජීවත් වන්නේ පොකුණු ටැංකි ළිං, සහ ජලය රැඳී පවත්නා භාජනවලය.

ක්‌ෂය රෝගය, මැලේරියාව සහ එඩ්ස්‌ රෝගය මර්දනය කිරීමේ
ගෝලීය වැඩසටහනේ අධ්‍යක්‍ෂ
වෛද්‍ය ගෞරි ගලප්පත්ති.


උපුටා ගැනීම : www.divaina.com

No comments:

Post a Comment