Thursday, August 8, 2019

සරම්ප

කතෘ - වෛද්‍ය පී.ජී.ජී. ආරයසිංහ (M.B.B.S.,DFM)

හැදින්වීම
 
මෙම රෝගය සරම්ප වෛරසය නිසා සෑදේ. ඕනෑම වයසක කෙනෙකුට සෑදිය හැකි වුවද වැඩි වශයෙන් සරම්ප රෝගය වැළදෙනුයේ ළමයින්ටය. ඉතා කුඩා ප්‍රතිශතයකට සංකූලතා ඇති විය හැකි වුවද වැඩි දෙනෙකු පූර්න සුවය ලබයි


රෝග කාරකය 
 
සරම්ප වෛරසය


රෝග ලක්ෂණ
 
මුලින්ම ඇතිවන රෝග ලක්ෂණ වනුයේ තද උණ, නාසයෙන් සොටු දියර ගැලීම හා ඇස් ආසාදනයයි. ඊට අමතරව වියළි කැස්ස, කෑම අරුචිය, ඇගපත අමාරුව හා පාචනය ඇති විය හැක. සුදු පාට කුඩා පැල්ලම් මුඛය තුල ඇති විය හැක.
හිසෙන් පටන්ගෙන පැතිර යන රතු පැල්ලම් දින 03ක් / 04ක් ඇතුළත දැකිය හැකි වේ. දින 2/3 ක් අතර මුළු ශරීරය පුරා පැතිර යන මෙම පැල්ලම් දුඹුරු පැහැති වී ක්‍රමක් ක්‍රමයෙන් නැති වී යයි.
වැඩි දෙනෙකු දින 7-10ක් ඇතුළතදී සම්පූර්ණ සුව ලැබුවද සමහර විට වියළි කැස්ස ඊට වැඩි කාලයක් පැවතිය හැක.
ශරීරය තුළ නිපදවෙන ප්‍රතිදේහ නිසා සාමාන්‍යයෙන් ජීවිතාන්තය දක්වාම ප්‍රතිශක්තිය ලැබේ.
සරම්ප රෝගයේ ඇතිවන රතු පැහැති පැල්ලම්වලට සමාන සමේ ආසාදන වෙනත් රෝග නිසාද ඇති විය හැකි වුවද සරම්ප නිසා ඇතිවන මෙම පැල්ලම් දින කිහිපයක් ඇතුලත මැකී යයි.


සංකූලතා
 
කන් ආසාදනය - මේ නිසා කන් කැක්කුම ඇති විය හැක.
උණ වලිප්පුව -
ශ්වසන ආබාධ -
නියුමෝනියාව -
එන්කෙජුලයිට්ස් - මොළයේ ආසාදන දුබල වුවද මාරාන්තික වියහැකියි. නිදිමත ගතිය, හිස කැක්කුම හා වමනය මෙම තත්ත්වයේ ලක්ෂණ වේ. 

වපරය - වපරය සෑදීමේ හැකියාව සරම්ප රෝගය සෑදුනු ළමුන්ගේ .........................
SSPE – (Sub acute sclerosing pan encephalitis) වසර ගණනාවකට පසුව ඇති විය හැකි දුර්ලභ තත්ත්වයකි.

සරම්ප රෝගය නිසා සංකූලතා බොහොමයක් දැකිය හැක්කේ ප්‍රතිශක්තිය අඩු හා මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් අතරය. එම හේතුව නිසා දියුණු වෙමින් පවතින රටවල තවම සරම්ප නිසා මරණයට පත්වන ළමුන් ගණන සැළකිය යුතු ප්‍රමාණයකි


 ප්‍රතිකාර
 
සරම්ප වෛරසය සදහා විශේෂිත ප්‍රතිකාර නොමැති වුවද ශරීරයේ ප්‍රතිශක්තියෙන් රෝගය මර්ධනය කරන තුරු රෝග ලක්ෂණ පාලනය කිරීම සදහා සුළු ප්‍රතිකාර කළ හැක.
  • වැඩිපුර දියර පානය කිරීම.
  • උණ හා ඇගපතේ අමාරුව සදහා පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබා දිය හැක.
  • ප්‍රතිජීවක පෙති දීම - සරම්ප නිසා කන් අමාරුව, නියුමොනියාව, වැනි බැක්ටීරියා ආසාදන ඇති වූ විට පමණක් ප්‍රතිජීවක දිය හැක. සාමාන්‍ය සරම්ප රෝගය සදහා ප්‍රතිජීවක අනවශ්‍ය වේ.
වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වනුයේ,
සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රතිකාර නොමැතිව සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම සුව වුවද රෝගය හදුනා ගැනීම සදහා වෛද්‍යවරයකු බැලිය හැක. ඊට අමතරව රෝගය උත්සන්න වෙන ලකුණු තිබෙන විට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. එම ලක්ෂණ වනුයේ,
  • නිදිබර ගතිය
  • විජලනය - බොන දියර ප්‍රමාණය අඩු වූ විට මෙය සිදුවේ. පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීම, කට/දිව වියළීම, නිදිබර ගතිය මෙහි ලක්ෂණ වේ.
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • වලිප්පුව

රෝගය වැළැක්වීම හා නිවාරණය
 
සරම්ප රෝගය සීග්‍රයෙන් බෝවේ. වෛරසය ශරීර ගතවූ පසු දින 10-14 ක් ඇතුලත රෝග ලක්ෂණ මතු වේ. රෝගය පැතිරීම සිදුවන්නේ රෝග ලක්ෂණ පහළ වීමට දිනකට පෙර සිට රෝග ලක්ෂණ පහළ වී දින 5ක් පමණ වන තුරුයි. එබැවින් සරම්ප රෝගය ඇති ළමුන් සෙනග ගැවසෙන ස්ථානවලට යෑමෙන් හා පාසැල් යාමෙන් වැළකිය යුතුය.
සරම්ප ප්‍රතිශක්තිය ලබා දුන් ළමුන්ට සරම්ප සෑදීමේ හැකියාව ඉතා අඩුයි. එහෙත් ප්‍රතිශක්තිකරණය 100% සාර්ථක නොවේ.


සරම්ප ප්‍රතිශක්තිකරණය
 
ශ්‍රී ලංකාවේ EPI ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනූව සරම්ප ප්‍රතිශක්තිකරණ මාත්‍රා 02ක් ලබා දේ. පළමු මාත්‍රාව වයස මාස 03 දී හා දෙවන මාත්‍රාව වයස අවුරුදු 3 දී ලබා දේ.

උපුටා ගැනීම : suwasariya.gov.lk

Monday, November 28, 2016

මී උණ

මී උණ වෛද්‍ය විද්‍යාවේදී අපි හඳුන්වන්නේ ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් මීයන්ගේ මුත්‍රාවල තිබෙන ලෙප්ටොස්පයිරා නැමැති බැක්ටීරියාව මිනිසාගේ සමේ තුවාල හෝ සියුම් පටල හරහා ශරීරයට ඇතුළුවීමෙන් මෙම රෝගය ඇති වේ.

මෙහි වාහකයන් බවට පත්වන්නේ ක්ෂිරපායි සතුන්. ඒ කියන්නේ මේ බැක්ටීරයාව තිබෙන්නේ මීයන්ගේ ශරීරයේ පමණක් නෙමෙයි. බල්ලන්, බළලුන්, එළුවන්, ගවයන්, මී ගවයන් වැනි සතුන්ගේ මුත්‍රාවලත් මේ බැක්ටීරියාව තිබෙන්න පුළුවන්. නමුත් මෙය මිනිස් ශරීරයට ඇතුළු විය හැකි වැඩි ඉඩකඩක් තිබෙන්නේ මීයන්ගෙන්.


මීයන් වර්ග රැසක් සිටිනවා. ඒ අතරින් මී උණ පතුරවන්නේ කුමන වර්ගයද?

සාමාන්‍යයෙන් ගෘහාශි‍්‍රතව ජීවත් වන මියන්ගෙන් මී උණ හැදෙන්නේ නෑ. මඩ සහිත කුඹුරු, දියකඩිති, නිතර උල්දිය සහිත ස්ථාන සහ කැලෑබද ආශි‍්‍රතව සිටින අයට මී උණ සෑදෙනවා. මේ නිසා මී උණට වෙල් උණ, පතල් උණ, මඩ උණ කියලත් කියනවා.

මී උණ ඇති කරන බැක්ටීරියාව සහිත වාහකයන්ගේ මුත්‍රා තරල සහ ශුක්‍රාණු බාහිර පරිසරයට මුදාහැරීමේදී ජලය සමඟ මිශ්‍ර වී එම ජලය ශරීරයේ ස්පර්ශ වුණු පුද්ගලයාට රෝගය ඇතිවෙනවා. යම් හෙයකින් මේ බැක්ටීරියාව සහිත ජලය වැවකට ගලාගෙන ආවොත්, එහෙමත් නැතිනම් ගංවතුර අවස්ථාවකදී, වාහක මීයකුගෙන් ගංඟාශ්‍රීතව ජීවත්වන මීයකුට බැක්ටීරියාව ඇතුළු වීමෙන් ආදී ඕනෑම විදිහකින් මේ බැක්ටීරියාව අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්.


මී උණ වැළඳිය හැකි අවදානම් කණ්ඩායම් කවුද?

වැඩි වශයෙන්ම මෙයට ගොදුරු වීමේ අවදානම තිබෙන්නේ කුඹුරුවල වැඩකරන අයටයි. මීට අමතරව මඩ ආශි‍්‍රතව පතල් වැනි රැකියා කරන අය සනීපාරක්ෂක කම්කරුවන්, ගොපල්ලන්, ගඩොල් උළු කර්මාන්තවල යෙදෙන ශ්‍රමිකයන් යනාදි කණ්ඩායම්වලට මී උණ ඇතිකරවන බැක්ටීරියාව ශරීර ගතවීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.

මීට අමතරව ගලා නොයන දියකඩිතිවල ස්නානය කරන, මුහුණ කට සෝදන කෙනෙකුට වුණත් එක් ඇසිල්ලෙකින් බැක්ටීරියාව ඇතුළු විය හැකියි.


මී උණ ඇතිකරන ලෙප්ටොස්පයිරා බැක්ටීරියාව මිනිස් ශරීරයට ඇතුළුවිය හැකි ආකාරය තව දුරටත් පැහැදිළි කළොත්?

මෙම බැක්ටීරියාව අපේ ශරීරයට ඇතුළු වෙන්නේ ශරීරයේ කැපුණු, සීරුණු තුවාල සහ ඇසට නොපෙනෙන තරම් සියම් තුවාලවලින්, ඊට අමතරව බැක්ටීරියාව රැඳී තිබෙන ජලයෙන් මුඛය සෝදනවිට හෝ බීමෙන් මුඛය ආශි‍්‍රත සියුම් පටල මඟින් ද ඇතුළුවිය හැකියි.

ඒ වගේම එම ජලයෙන් මුහුණ සේදීමේදී ඇස්වල සියුම් පටල හරහා ද බැක්ටීරියාව ශරීරගත විය හැකියි. සතුන්ගේ මස් සහ තරල මඟින් ද මී උණ බැක්ටීරියාව ශරීරය ඇතුළු වෙන්න පුළුවන් කියලා අපි මීට පෙර සඳහන් කළා. ඒ කියන්නේ සතුන්ගේ මස් මාංශ අලෙවිකරන තැන්වල වැඩකරන අයට මේ අවදානම තිබෙනවා.


මී උණ ඇතිකරන ලෙප්ටොස්පයිරා බැක්ටීරියාව මිනිස් ශරීරයට ඇතුළුවිය හැකි ආකාරය තව දුරටත් පැහැදිළි කළොත්?

මෙම බැක්ටීරියාව අපේ ශරීරයට ඇතුළු වෙන්නේ ශරීරයේ කැපුණු, සීරුණු තුවාල සහ ඇසට නොපෙනෙන තරම් සියම් තුවාලවලින්, ඊට අමතරව බැක්ටීරියාව රැඳී තිබෙන ජලයෙන් මුඛය සෝදනවිට හෝ බීමෙන් මුඛය ආශි‍්‍රත සියුම් පටල මඟින් ද ඇතුළුවිය හැකියි.

ඒ වගේම එම ජලයෙන් මුහුණ සේදීමේදී ඇස්වල සියුම් පටල හරහා ද බැක්ටීරියාව ශරීරගත විය හැකියි. සතුන්ගේ මස් සහ තරල මඟින් ද මී උණ බැක්ටීරියාව ශරීරය ඇතුළු වෙන්න පුළුවන් කියලා අපි මීට පෙර සඳහන් කළා. ඒ කියන්නේ සතුන්ගේ මස් මාංශ අලෙවිකරන තැන්වල වැඩකරන අයට මේ අවදානම තිබෙනවා.


මී උණ රෝගයේ ලක්ෂණ මොනවාද?

මෙහි මූලික රෝග ලක්ෂණ බොහොමයක් වෛරස් උණ, රෝග ලකුණුවලට සමානයි. නමුත් මී උණ රෝග ලක්ෂණ දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙකුට ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.

තදින් වෙවුලා උණ ගැනීම, තද හිසරදය මාංශපේෂි සහ කොන්දේ තද වේදනාව, බඩේ කැක්කුම, කෑම අරුචිය, වමනය සහ බඩ බුරුලට යාම, අප්‍රාණික බව මේ අතර කිහිපයක්. මීට අමතරව මුත්‍රාවල වෙනස්කම් ඒ කියන්නේ මුත්‍රා තද කහ පැහැවීම, මුත්‍රා සමඟ ලේ යාම, මුත්‍රා අඩුවෙන් පිටවීමත් දක්නට ලැබෙනවා.


ඇස් රතු වීම, ඇසේ තද රතු ලේ පැල්ලම් ඇතිවීම, ඇස් සහ සිරුර කහ පැහැ වීමත් තවත් රෝග ලක්ෂණ කිහිපයක් 

මේ රෝග ලක්ෂණ පහළ වෙන කාල පරාසයක් තිබෙනවාද?

ඔව්. සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීරගත වී දින දෙකක් විස්සක් (2 -20) අතර කාලයකින් රෝග ලකුණු පහළ වෙනවා. ඉන් පසු ඇතැම් අයට රෝග ලක්ෂණ පහව ගොස් සුව වුණු ස්වභාවයක් පෙන්නුම් කර යළි රෝග ලක්ෂණ මතු කරනවා.

බොහෝවිට දෙවැනි අවස්ථාවේ රෝග ලක්ෂණ පහළ කරන්නේ බැක්ටිරියාව ශරීරයට ඇතුළු වී ශරීර අභ්‍යන්තරයේ අවයවවලට තදබල ලෙස බලපා ඇති විටයි. මේ නිසා පළමු රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්නුම් කළ විගස ළඟම ඇති රෝහලේ වෛද්‍යවරයා හමුවට යාම වඩාත් යෝග්‍යයි.


ඇතමෙකුට මී උණ වැළඳුණත් ඉතා ඉක්මනින් සුව වෙනවා. ඒ වගේම ඇතැම් රෝගීනට රෝගය උත්සන්න වී මරණය පාව සිදුවෙනවා. එහෙම වෙන්න හේතු තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්. එයට එකිනෙකාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයත් බලපානවා. ඊට අමතරව විශේෂයෙන් ශරීරයට ඇතුළු වී තිබෙන බැක්ටීරියා ප්‍රමාණය, එය ශරීරයේ අවයවවලට බලපා ඇති ස්වභාවය, ප්‍රතිකාර ගැනීමට ගත වූ කාලය අනුවයි.

මෙය වෙනස් වෙන්නේ, ඒ කොහොම වෙතත් මී උණ මරණය පවා ඇතිකළ හැකි රෝගයක් වුණත් නිසි ප්‍රතිකාර, නිසි වේලාවට ලැබුණොත් අනිවාර්යෙන්ම සුවකළ හැකියි. තවත් මතක තබාගත යුතු විශේෂ දෙයක් තිබෙනවා. මත්පැන් පානය කරන කෙනෙකුට ශරීරයේ අවයවවලට හානි සිදු වී ඇත්නම් මී උණ බැක්ටීරියාව ශරීර ගත වීමත් සමඟ ප්‍රතිඵල බරපතළ විය හැකියි.

ගල්ගමුව මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එම්.ඩී. යමුනා සේනාධීර මහත්මිය

 

Saturday, November 26, 2016

ඉරුවාරදය (මිග්‍රේන්)

ඉරුවාරදය හෙවත් මිග්‍රේන් යනුවෙන් හදුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි. මෙම හිසරදය ඇති වන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
හිසේ කැක්කුමක් සමගම බොහෝ විට ආහාර මාර්ගය හා ඇස්වල පෙනීම ආශ්‍රිතව රෝග ලක්ෂණ හට ගනී. සාමාන්‍යයෙන් මෙය කාන්තාවන් අතර බහුලවන අතර වයස අවුරුදු 10 සිට 45 දක්වා පුද්ගලයන් අතර දැකිය හැක.
එකම පවුලේ සාමාජිකයන් අතර මෙම රෝගය වැළදීමේ හැකියාව වැඩි නමුත් ජානමය හේතුවක් මෙම රෝගය සදහා තවම සොයා ගෙන නැත.


ඉරුවාරදය ඇති වීමට හේතුව
 
ඉරුවාරදයට නිශ්චිත හේතුව තවම සොයාගෙන නොමැති වුවද යම් උත්තේජනයකින් පසුව මොළය ආශ්‍රිතව රුධිරවාහීනී විස්තාරණය වීම නිසා මෙයට බලපාන බව විශ්වාස කෙරේ.


රෝග ලක්ෂණ
  • හිසරදය - හිසේ එක් පැත්තකින් හට ගන්නා තදබල හිසේ කැක්කුමක් ලෙස ඇතිවේ. මෙම හිසේ කැක්කුම පැය කිහිපයක සිට දින කිහිපයක් එක දිගට පැවතිය හැක.
  • ඔක්කාරය හා වමනය
  • කරකැවිල්ල
  • ආහාර අරුචිය
  • ආලෝකය දෙස එක එල්ලේ බැලීමේ අපහසුව
සමහර ළමයින්ට මිග්‍රේන් වැළදුන විට හිසරදය නොමැතිව කැක්කුම හා වමනය ඔක්කාරය ඇති විය හැක.
ඉරුවාදය ඇති රෝගීන්ගෙන් 10% දෙනෙකුට පමණ රෝග ලක්ෂණ ඇතිවීමට පෙර අනතුරු ඇගවීමේ සංඥා ඇති විය හැක. තරු හෝ සිග්සැග් වැනි දෑ දිස්වීම, දර්ශන පථයේ අදුරු ලප දිස්වීම, එක් ඇසක් නොපෙනී යාම ලක්ෂණ ප්‍රධාන රෝග ලක්ෂණවලට පෙර ඇති විය හැක.
ඉරුවාදය රෝග ලක්ෂණ මතු කිරීමට හේතුවන සාධක
මෙම සාධක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.
ඒවා නම්,
  • තද හිරු එළිය
  • නිදි වැරීම
  • තද බඩගින්න
  • මානසික ආතතිය
  • කාන්තාවන්ගේ මාස් ශුද්ධිය
  • සමහර ආහාර වර්ග - උදාහරණ ලෙස චීස්, චොකලට්, ඇඹුල් බීම ආදිය

ඔබ වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා
  • හිසරදය සාමාන්‍යයෙන් ඔබට ඉරුවාරදය සෑදෙන තත්ත්වයට වඩා බරපතල වීම, වැඩි වාර ගණනක් සෑදීම හෝ සාමාන්‍ය ප්‍රතිකාරවලට සුව නොවීම.
  • අවුරුදු 50 ට වැඩි වයසකදී ඔබට මුලින්ම ඉරුවාරදය ඇති වීම.
  • හිසරදය සමග උණ ඇති වීම.

ප්‍රතිකාර
 
ඉරුවාරදය නිසා ඇති වන රෝග ලක්ෂණ වෙන රෝග නිසාද ඇති විය හැකි නිසා වෛද්‍යවරයකු විසින් රෝග නිර්ණය කිරීම වැදගත් වේ. ඉරුවාරදය සම්පූර්ණයෙන් සුව කිරිමට නොහැක.

රෝග ලක්ෂණ ඇති අවස්ථාවලදී ඒ සදහා වෙදනා නාශක හා වමනය සදහා ඖෂධ ලබා දෙයි. නිශ්ශබ්ද අදුරු ස්ථානයක විවේක ගැනීම ද රෝග ලක්ෂණ අඩු කිරීමට හේතු වේ. ඉරුවාරදය සෑදී ගෙන එන අවස්ථාවේදීම බෙහෙත් පාවිච්චි කිරීමෙන් ඉක්මණින් සුවය ලැබිය හැක.

ඔබ නිතර නිතර ඉරුවාරදයෙන් ඉතා බරපතල ලෙස පීඩා විදින, ඒ නිසා ඔබේ එදිනෙදා ජීවිතයට බලපෑමක් ඇති අයෙකුනම් ඔබේ වෛද්‍යවරයාගෙන් ඉරුවාරදය හැදීම මගහැරීම සදහා ඇති ඖෂධ භාවිතය ගැන උපදෙස් ලබා ගත හැක. එහෙත් මෙම ඖෂධ බොහොමයක් ගර්භනී කාලයේදී හා කිරි දෙන අවස්ථාවලදී භාවිතා කිරීමට නුසුදුසු නිසා ඒ පිළිබදව ඔබේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න.


ඉරුවාරදය වැළැක්වීම
 
ඉරුවාරදය සදහා දිනපොතක් තබා ගැනීමෙන් එය සෑදීමට බලපාන සාධක හදුනා ගෙන ඒවා මග හරවා ගත හැක. අධික හිරු එළිය අවස්ථාවලදී, අව් කණ්නාඩි පැළදීමද, නිරාහාරව නොසිටීම, අවශ්‍ය නින්ද ලැබීම හා ව්‍යායාම මෙම රෝගී තත්ත්වය අඩු කිරීමට හේතු වේ.

ඊට අමතරව ඉරුවාරදය සෑදීම වැළැක්වීමට ඇති ඖෂධ භාවිතයෙන් ද සෑදෙන වාර ගණන අඩු කළ හැක.

Wednesday, November 16, 2016

ගලපටල රෝගය

කි‍්‍ර.ව. 2 දී විසූ ඇරිට්යස් නම් වෛද්‍යවරයා ඔහුගේ වෛද්‍ය ග‍්‍රන්ථයෙහි ගලපටලය පිළිබඳ විස්තර කර තිබිණි. රෝගියාගේ ග‍්‍රසනිකාවේ සිට තල්ල තෙක් විහිදී යන ලාක්‍ෂණික ඝන පටලය ඔහු නිවැරදිව නිරීක්‍ෂණය කොට විස්තර කර තිබේ. මෙම රෝගයට ඩිප්තීරියාව යනුවෙන් නම් තැබුවේ 1826 දී ප‍්‍රංශ ජාතික පියරේ බ්‍රාටනියු විසිනි. පදම් කළ හමක් වැනි ඝන පටලයක් සාදන එම රෝගය ඔහු “ඩිප්තරයිට්” ලෙස නම් කළේය. එහි තේරුම පදම් කළ හම යන්නයි.

රෝගය පැතිර යන ක‍්‍රමරෝග කාරක බැක්ටීරියාවේ ප‍්‍රභවය වන්නේ රෝගියෙකු හෝ රෝග වාහකයෙකු ය. රෝග වාහකයා කහින විට හෝ කිවිසුම් අරින විට පරිසරයට එක්වන බැක්ටීරියා අඩංගු කෙළ බිංදු රෝගය තවත් කෙනෙකු කරා ගෙනයයි. රෝග වාහකයෝ බොහෝ දෙනෙකු රෝග ලක්‍ෂණ නොපෙන්වන්නෝය. ඔවුහු ගලපටල බැක්ටීරියා නාසය ඇතුළත උගුරේ සහ සම මත දරා සිටිති. නිවර්තන රටවල වාසය කරන මිනිසුන්ගේ සම මත වසර 3 කටත් වැඩි කලක් ජීවත් වීමට මේ බැක්ටීරියා සමත් වෙති.

රෝග ලක්‍ෂණරෝගියා උණෙන් පෙළෙන අතර ඔහුගේ නාඩි වැටීම ඉක්මන් වේ. බැක්ටීරියා ආසාදනය හටගත් ස්ථානයෙහි අලු පැහැති පටලයක් මතුවේ. නාස් කුහරය ආසාදනය වුවහොත් රුධිරය මිශ‍්‍ර බැක්ටීරියා අඩංගු දියරයක් නාසයෙන් ශ‍්‍රාවය වනු ඇත. සෙම්ගෙඩි ආසාදනය වුවහොත් උගුරු බැරැන්ඩිය ඇතිවේ. ස්වරාලය ආසාදනය වීමෙන් කටහඬ වෙනස් වී කැස්සක් හටගනී. ප‍්‍රතිශක්තිය දුබල රෝගීන්ගේ රෝග ලක්‍ෂණ තවත් උග‍්‍රවේ. මෙම රෝගීන්ගේ ගෙල පෙදෙසේ පිහිටි වසා ග‍්‍රන්ථි ඉදිමීමෙන් ගෙල විශාල වේ. පටලය අවට ආසාදනය වීමෙන් තුවාල හටගනී. මෙම තුවාලවලින් රුධිරය වහනය විය හැක. පටලය ඉතා ඝනව වැඩුනහොත් රෝගියාගේ ශ්වසන පද්ධතිය අවහිර වේ. එම පටලය ඉවත් නොකළ හොත් රෝගියා හුස්ම හිරවීමෙන් මියයා හැක. සමහර රෝගීන්ට පක්‍ෂගාතය වැළඳීමට ද ඉඩ ඇත. රෝගය සුවවෙත්ම පක්‍ෂගාත ලක්‍ෂණ ද අතුරුදහන් වී යයි. ආසාදිත පුද්ගලයන් අතුරින් මුල් අවස්ථාවට අයත් රෝග ලක්‍ෂණ පමණක් පෙන්වා සුවපත් වන්නෝ බොහෝ විට වාහකයන් ලෙස කි‍්‍රයා කරති.

රෝගය වළක්වාලීම හා ප‍්‍රතිකාර1891 දී එමිල් වොන් බෙරින් හා කිටසාටෝ ගලපටල එන්නත සොයා ගන්නා ලදී. ගලපටල එන්නත් වර්ග තුනක් ඇත. එනම් අකී‍්‍රය එන්නත, සකී‍්‍රය එන්නත හා මිශ‍්‍ර එන්නත යනුවෙනි. ළමා රෝහලක වාට්ටුවකට ගලපටල රෝගියකු ඇතුළු කරන විට අන් දරුවන්ට රෝගය බෝවීම වැළැක්වීම සඳහා අකී‍්‍රය ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනු ලැබේ. ඉන් අනතුරුව සක්‍රීය එන්නත ද ලබාදීමෙන් අංග සම්පූර්ණ ප‍්‍රතිශක්තිකරණයක් ලබාගත හැක. එමෙන්ම මිශ‍්‍ර ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රමයේදී අකී‍්‍රය හා සකී‍්‍රය එන්නත් දෙකම ලබාදෙනු ලැබෙයි.ඒ අනුව ලොව සෑම දරුවකුටම ගලපටල ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් මගින් මේ වන විට සංවර්ධිත රටවලින් ගලපටලය තුරන් කර ඇත.

පිට ගැස්ම

පිට ගැස්ම කියන්නේ බැක්ටීරියාවක් මඟින් වැළඳෙන රෝගයක්. එය ස්නායු පද්ධතියට සංවේදීතාවයක් ඇති කරයි. ඉන් පසු මාංශපේශිවල තද ගතියක් ඇති වී ගැස්මක් ඇති වේ. කොන්ද ආශ්‍රිත මාංශ පේශිවල ගැස්මක් ඇතිවීම හේතුවෙන් මෙය පිට ගැස්ම ලෙස සලකනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ පිට ගැස්ම එන්නත දරුවන්ට ලබා දෙන ත්‍රිත්ව එන්නතට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව දරුවකුට මාස 2, 4, 6 සහ 18 ලෙස ත්‍රිත්ව එන්නතත් සමග ලබා දෙනවා.


පිටගැස්ම විෂබීජය තිබෙන්නේ පස තුළයි. යම් පුද්ගලයකුට තුවාලයක් වූ පසු තුවාලය හරහා මෙකී බැක්ටීරියාව ශරීරයට ඇතුළු වී විෂක් ඇති කරවීමට සමත් වෙනවා. ඒ මගින් රෝග ලක්ෂණ පහළ විම ආරම්භ වෙනවා. මාස 18 දී පිට ගැස්ම එන්නතෙහි 4 වැනි මාත්‍රාව ලබා දුන් පසු නැවතත් එම ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා අවු. 5 දී ද්ව්ත්ව එන්නත සමග පිටගැස්ම එන්නත ලබා දීම සිදු කරනවා.

ඊට පසු අවු. 10 – 13ත් අතර කාලයේ දී නැවතත් ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා එන්නත ලබා දීම සිදුකරනවා. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය මගින් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහනක් අනුව සිදු කරන්නකි. පාසල් සමයේ දරුවන් එතරම් සැලකිල්ලක් තැකීමක් සෞඛ්‍ය සම්බන්ධයෙන් නොමැති නිසා මෙය ක්‍රියාත්මක කරයි. බොහොමයක් දරුවන්ගේ ක්‍රියාශීලීත්වය අනුව වැටීම්, තැලීම්, සීරීම් සිදුවිය හැකි අතර ඒ මගින් විෂබීජය ඇතුළු වීමේ අවදානමක් ද ඇත. එම අවදානම අවම කරවීමේ අරමුණෙන් මෙම එන්නත් කිරීම සිදුකරනු ලබයි.

මෙලෙස දෙවරකදී ලබා දෙන පිටගැස්ම එන්නත් සංඝටකයේ වෙනසක් නොමැත. එහෙත් වැඩිහිටි පිටගැස්ම එන්නත ඒඛ්ච් ලෙස හඳුන්වනවා. මේ තුළ ගලපටල රෝගයේ සංඝටකයකුත් ඇත. ළදරු කාලයේ ලබා දෙන ත්‍රිත්ව එන්නතෙහි සංයුතියෙහි වෙනසක් සිදු වන්නේ ගලපටල සංඝටක ප්‍රමාණය අඩුවීම ය. අවු. 10 දී එන්නත ලබා දුන් පසු නැවත අවු. 20 වනතුරු දරුවකුට කිසිම අවස්ථාවක පිටගැස්ම එන්නත ලබා දීම සුදුසු නැත.

විශේෂයෙන් දක්නට ලැබෙන කාරණයක් වන්නේ අවු. 10ට පසු එන්නත ලබා දී ඇති දරුවාට අවු. 20ට පෙර එන්නත ලබා දෙන අවස්ථා තිබීමයි. එය සිදු වන්නේ නොදැනුවත්කම නිසා විය හැකියි. පාසලේ දී දරුවාට අනතුරක් වූ විට වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමේ දී වෛද්‍යවරයා නොදැනුවත් වුවොත් එන්නත ලබා දීමේ අවදානමක් තිබෙනවා. එනිසා මේ පිළිබඳ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි. කෙසේ නමුත් අවු. 10 සීමාවේ දී එන්නත ලබා නොගත් දරුවන්ට පමණක් යම් අනතුරක් සිදු වූ අවස්ථාවක එන්නත ලබාදිය යුතුයි.

අනවශ්‍ය ආකාරයට එන්නත ලබා දීමෙන් අතුරු ආබාධ මතුවීමේ ඉඩකඩක් ද තිබේ. එනිසා වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබා ගැනීම අත්‍යවශ්‍යයි. පිටගැස්ම එන්නත කුඩා දරුවකුට ලබා දීමේ දී කලවට ලබාදිය යුතුයි. එය දරුවාගේ අතේ උඩ බාහුවට නොදිය යුතුයි. නිවැරැදි ක්‍රමයට එන්නත් නොකිරීම තුළත් ආබාධ මතුවිය හැකියි. දියර එන්නතක් ලෙස සැලකෙන පිටගැස්ම එන්නත අයිස් වන තුරු නොතැබිය යුතුය. අවශ්‍ය උෂ්ණත්වය එන්නතට ලබාදිය යුතුයි. එසේ නොවුණහොත් එන්නතේ ක්‍රියාකාරීත්වය ද අඩුවිය හැකියි. ගර්භණී අවස්ථාවේ දී මාස 3 පසු වූ පසු එන්නත් මාත්‍රා දෙකක් ලබා දෙනවා. ඒ මගින් උපදින්නට සිටින දරුවාට හොඳ ආරක්ෂිත ආවරණයක් ලැබෙනවා. එනිසා පිටගැස්ම තත්ත්වය ළදරුවන්ගෙන් වාර්තා වන්නේ නැත.

උපුටා ගැනීම : dinamina.lk

Tuesday, November 15, 2016

දියවැඩියා

වර්තමානයේ වේගයෙන් ව්‍යාප්තවන ‍බෝනොවන රෝග අතර දියවැඩියාව ඉදිරියෙන් සිටී. දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස් සිරුරේ හිසේ සිට දෙපතුල දක්වා ශරීරයේ සෑම අංගයකටම හානි පමුණුවයි. කටට මධුර රස දැනීම ,අත පය හිරි වැටීම ,අත පය දැවිල්ල , උගුර තොල කට වෙළීම, පිපාසය, අලසබව ශරීරගතව මධුමේහය වැලදී ඇති බවටකරනු ලබන ඉඟි වේ.

එවැනි රෝග ලකෂණ ඔබට තිබේ නම් හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු වෙත යොමු වී රුධිර ගත සීනි ප්‍රමාණය හා මුත්‍රා වල අඩංගු සීනි ප්‍රමාණය පරීක්ෂාකරවා ගත යුතුවේ.

අත පය නොවෙහෙසා සිටීම ද අධික නින්ද දී කිරි ,මස් මාංශ හොදි වර්ග, කිරි වැඩි පුර ආහාරයට එක්කර ගැනීම නිරතුරුව අලුත් සහලේ බත් අනුභවය ප්‍රෙමේහයට හේතු වේ. තුන් දොසින් උපදින ප්‍රමේහය සෙම කෝප කරවන ආහාර විහරණ හේතුවෙන් ම ඇති වේ. ආයුර්වේදයේ ප්‍රමේහ රෝග විස්සක් දක්වා ඇත. එම ප්‍රමේහ රෝග නොසලකා හැරීමෙන් හා ඊට නිසි ලෙස පිළියම් නොකිරීමෙන් කල් යාමේ දී මධුමේහය හෙවත්(ලේ මුත්‍රා දෙකෙහි සීනි පැවැතීම )දිය වැඩියා තත්වය තෙක් පැතිරේ. එය අසාධ්‍ය තත්වයකි.

දියවැඩියා රෝග තත්වයට ආහාර බෙහෙවින් බලපෑම් කරයි. ප්‍රණීත මධුර රස ආහාර පාන දිගින් දිගටම ගැනීම ඒ අතර ප්‍රධාන වේ. ආහාරයේ රස ගුණ වීර්යය පිළිබඳ විමසද්දී, පැණි රස අධික ආහාර, ඇඹුල් රස අධික ආහාර , ලුණු රස අධික ආහාර, මෙන්ම තෙල් අධික ආහාර ද සිසිල් බවින් අධික ආහාර ද දිනපතා අසීමාන්තකව ගැනිම ද ප්‍රමේහ රෝග ඇති කරවයි.

ධාන්‍ය වර්ග ආහාරයට ගනිද්දී අලුත් ධාන්‍ය නොව පැරණි වූ ධාන්‍ය ආහාරයට ගැනීමට හුරුවිය යුතුය. අලුත නෙළාගත් ධාන්‍ය මධුර රසයෙන් යුක්ත වන බැවින් දිගින් දිගට ම ආහාරයට ගැනිම ප්‍රමේහයට හේතුවේ. පස්ගෝරස මෙන්ම තෙත් සහිත ප්‍රදේශයන්හි වෙසෙන සතුන් ගේ මාංශ නිතර ආහාරයට ගැනීම එළකිරි මීකිරි අධි මාත්‍රාවෙන් ගැනීම ,උක් හකුරුවලින් කළ ආහාර මෙන්ම පිටි සහිත ආහාර අහිතකර ය.

ව්‍යයාම නොකිරීම, දහවල් නිදීම(මහලු අයට සහ කුඩා දරුවනට මෙය බල නොපායි.) අලස කම දවසේ වැඩි කාලයක් සැප ආසන යන්නහි හිඳගෙන සිටීම ප්‍රමේහයට හේතු කාරකය.

ශාරීරක රෝග මනසට ද මානසික රෝග ශරීරයට බල පෑම් කරයි. මානසික ආතතිය , යම් සිතිවිල්ලක දිගින් දිග‍‍ටම එල්බ සිටිම වැනි හේතු ද දියවැඩියා රෝගය ඇති වීමට උපකාරිවේ. නිතර නිතර තරහා යෑම ,නිතර ශෝක වීම බයෙන් සිටීම සිත් තැවුල් ආදියට ගොදුරු වීම මෙම රෝග තත්වය ඇතිවීමට බලපාන මානසික හේතූන්ය.

ආගම ධර්මයට අනුව ජීවත්වීම මගින් මානසික හේතු පාලනය කර ගැනීමෙන් අයුර්වේදයෙහි ප්‍රර්ථනා කරනා ලෙස හිතායු සුඛායු සහිතව ජීවත් වීමට අවස්ථව ලැබේ. දිය වැඩියාව පරම්පරාවෙන් පැතිර යන අවස්ථා ද වේ. බෝහො විට ළමයින් අතර දක්නට ලැබෙන මධු මේහ තත්වයට හේතු වන්නේ රෝගය ජාන මගින් පැතිරයාමයි. අධික ස්ථුල භාවයද දිය වැඩියාවට හේතු කාරක ය. සෙම මූලික රෝග තත්වයක් වන මධු මේහය වාපිත් සෙම් යන ත්‍රිදොෂ මූලිකව වර්ග කෙරේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී මෙම රෝගී තත්වයට ප්‍රතිකාර කරන ආකාර දෙකක් වේ. එනම් ස්ථූල බලවත් ශරීර ඇත්තන් හට අවශ්‍ය පරිදි ආහාර පාලනය කරමින් ප්‍රතිකාර කරන අතර කෘෂ සිහින් සිරුරක් ඇති දුර්වල අයට අගුණ නොවන පෝෂණීය ආහාර දෙමින් ද ප්‍රතිකාර සිදු කෙරේ. ඉන්සියුලින් මත යැපෙන රෝගීන් ට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබා ගත හැකිය.

ආහාර විහරණ නිසි ලෙස පවත්වා නොගැනීම .මානසික අවිවේකී භාවය, සිරුරේ වා සෙම් විකෘති වීම, ද මෙම රෝගය ඇති කරවයි. මෙම රෝගී තත්වය හේතුකොට ‍ගෙන මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකම මල රැස් වේ. මේ හේතුවෙන් දියවැඩියා රෝ ගීන් ගේ සිරුරින් අප්‍රසන්න දුර්ගන්ධයක් පිටවේ.

මේ රෝගී තත්වයේදී ඉක්මනින් හිස කෙස් පැසේ. දන්ත මල , කර්ණ මල අක්ෂි මල වැඩේ. ඔවුන්ට අධික ලෙස දහදිය දැමීම ද සිදුවේ. වෙනත් රෝගී තත්වයක් නොමැති නම් දිනපතා නා පිරිසුදුව සිටීම අත්‍යාවශ්‍යය. මෙම රෝගී තත්වයේ දී ශරීරයේ ශක්තිය අඩුවීම, හතිය , ඉක්මනින් නිය කෙස් වැඩීම, ශරීරයේ මාංශ බුරුල් වීම , සීතලට කැමැති වීම, දක්නට ලැබෙන ලක්ෂණයන්ය.

ඊට අමතරව මෙම රෝගීන් අතර පීනස ,මුත්‍රා අධික ලෙස පිට වීම ,පෙනීමේ දුර්වලතා, විකෘති සන්නිවේදනය, ඉක්මනින් වෙහෙස දැනීම, ලේ වල සහ මුත්‍රා වල පවත්නා සීනි ප්‍රමාණය ඉහළ යාම දක්නට ලැබේ. මත්‍රා කහට පැහැ වීම , මුත්‍රා රළු වීම, පෙණ ගතියෙන් යුතුවීම විශේෂ ලක්ෂණවේ. මෙම අවස්ථාවේ දී ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශය වේ. නොසලකා හැරීම උපද්‍රව ඇති කරයි.

දියවඩියා රෝගී තත්වයේ උපද්‍රව ලෙස අක්ෂි රෝග ඇති වේ. මෙම රෝගය ඇසට කරනු ලබන හානිය ප්‍රබලය. ඉන් පෙනීමේ දුර්වලතා ඇතිවේ. වකුගඩු වල ක්‍රියා කාරීත්වයට ‍හිතකර නොවන දිය වැඩියාරෝගය ඒවා ක්‍රමයෙන් අකර්මන්‍ය කරයි. වකුගඩුවල කාර්යය නිසි ලෙස සිදු කිරීමට වකුගඩු රෝගියාගේ වකුගඩු සමත් නොවේ.

පාද හිරි වැටීම හේතුවෙන් දෙපා ගල් මුල් මේස පුටු ආදියෙහි වැදීම නොදැනීම හේතුවෙන් එම අවස්ථාවන්හි ඇතිවන තුවාල ‍ෙකරෙහි අවධානය යොමු නොවීමෙන් ‍තුවාල උත්සන්න වේ. දියවැඩියා රෝගීන් ගේ තුවාල සුවවීමේ කාර්යය ස්වභාවයෙන්ම ප්‍රමාද බැවින් දෙපා තුවාල කර ගැනීමෙන් වැළකී ‍සිටිම වැදගත් වේ. මතකය අඩුවීම ද මෙම රෝගයේන් ඇතිවන පීඩාකාරී උපද්‍රවයකි. ස්නායු විකෘතිතා ඇති වීම දියවැඩියාවේ ම උපද්‍රවයක්වේ. මේ හේතුවෙන් ආහාර මාර්ගයේ විකෘතිතා ද ඇති වේ.

අධික ලෙස රාමතෙල් යාම බහුලව දැකිය හැකි අතර ආහාර නිසි ලෙස නොදිරවීම , ආහාර අරුචිය , මල භේදය හෙවත් මල නිසි ලෙස ගන නොවීම, ආහාර මාර්ගයේ ඇතිවන විකෘතිතා ලෙස හඳුනා ගත හැකි ලක්ෂණ වේ. අස්ථි හා මාංශපේශී වල විකෘතිතා ඇතිවන අතර ශරීරයේ මාංශපේශී ලිහිල් වීම, සන්ධි ඇදවිම, අස්ථි දිරාපත් විම , අස්ථි ඇදවීම එහි ලක්ෂණ වේ. ලිංගය හා මුත්‍රාශය ආශිතව ඇතිවන ඉඳිකටුවලින් අනින්නාක් බඳු වේදනාව , නින්ද වැඩිවීම, වමනය ද මෙම රෝගයේ ලක්ෂණ වේ.

හඳුනා ගත් සැණින් ප්‍රතිකාර වෙත යොමුවීමෙන් මහ රෝග ගණයෙහි ලා ගැනෙන දියවැඩියාව වසරක් තුළ උපද්‍රවයන්ගෙන් තොරව ආයුර්වේද ප්‍රතිකර්ම මගින් සුවකර ගත හැකිවේ. නොසලකා හැර වසර දහයක් පහළොහත් අතර කාලයක් ගතවීමෙන් උපද්‍රව ඇතිවේ. එහෙත්ආයුර්වේද ප්‍රතිකර්ම වෙත යෙමු වීමෙන් වීමෙන් ජීවන තත්වය සාමාන්‍ය ලෙස පවත්වා ගෙන යාමට හැකිවේ. ප්‍රතිකාර සාර්ථක කර ගැනීමට රෝගීයා ආහාර විහරණ නිසි ලෙස පිළිපැදීම අවශ්‍යවේ.

දියවැඩියාව හෙවත් මධුමේහය රෝගය සඳහා අත්බෙහෙත් කිරීම නුසුදුසු වනඅතර ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ මධුමේහයට ප්‍රතිකාර කෙරේ.

දියවැඩියාව පාලනය වර්තමානයේ අභියෝගයක් වී ඇත්තේ දෛනික දිනචරියාව නිසිලෙස පවත්වා ගැනීමට නොහැකිවීමයි. පිටතින් ආහාර ගැනීමට හුරුවිම දියවැඩියාවට අහිතකරය. මෙම රෝගයට ප්‍රතිකාර මෙන්ම පෞද්ගලික සෞඛයය පිළිබඳව සැලකිලිමත් වීම ද වැදගත් වේ. බ්‍රහ්ම මූහූර්තියෙන් අවදිවීම, පිරිසිදුව සිටීම, ආහාර පාන කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්වේ.

රණවරා, තේ, එළකිරි මෙන්ම ගොටුකොළ, කොහිල, හාතවාරිය, මොනරකුඩුම්බිය, කරපිංචාවැනි කැඳ වර්ග පීනස, ප්‍රතිශාව වැනි තත්වයන් නැති නම් දිනපතා වුවද පානය යෝග්‍ය වේ. උදේ ආහාරයට ඉඳ ආප්ප කිහිපයක් එළවළුවක් සමඟ ගැනීම හෝ ආප්ප දෙක තුනක් නැතිනම් ධාන්‍ය යෝග්‍යවේ.

දහවල් තේ වේලාවට ඔසුපැන් ලෙස කොතල හිඹුටු,බෙලිමල්,රණවරා, මාදං ඇට කුඩුකර තම්බා බීම, ලා තැඹිලිවතුර,බාර්ලි,පලතුරුයුෂ (සීනි නොදමා පානය යෝග්‍යය. දහවල් ආහාරය ලෙස බත් පීරිසියක් පරණවූ රතු කැකුලු ,හීනටි හෝ තමම්බපු සහලින් ගැනීම ‍සුදුසුවේ.

පලාවර්ග වැඩිපුර ගතයුතු අතර තිත්ත රසැති එළවවළු කෙඳි බහුල ආහාර ,පිටි රස අඩු කැකිරි, පිපිඤ්ඤා,කරවිල, තලන බටු, අසමෝද ගම් කොළ,තෙඹු දළු කොහිල වඅනි ද්‍රව්‍ය සමඟ මාංශ ජනක ආහාර ගත යුතුය. වෙනත් රෝගී තත්වයක් නැත්නම් සතියකට බිත්තර 2ක් 3ක් සමග ප්‍රෝටීන් සහිත ධන්‍ය සලාද ආහාරයට එකතු කරගත යුතුවේ.

උතුරවා නිවා ගත් වතුර පානය කළයුතු අතර ඇඹුල් කෙසෙල්,සුවඳැල් කෙසෙල් , ගස්ලබු,දොඩම් ,වැනි පලතුරු ආහාරයට සුදුසු ‍ෙව්. සවස ‍ෙත් සඳහා නැවුම් කිරි සමඟ සීනි රහිත බිස්කට් යොග්‍ය වේ. රාත්‍රියට බත් කන්නේ නම් එළවළු බහුලව බත් පීරිසියක් පමණ ගැනීම යොග්‍යය . රාත්‍රී ආහාරය ලෙස එළවළු සුප් හෝ තම්බාගත් එළවළු යෝග්‍යවේ.

මෙම රෝගීතත්වයේදී නිතර නිතර බඩගිනීවීම වළක්වා ගත යුතුවේ. රෝගීහු සතියට දින තුනක්වත් තැම්බුම හොද්දක් පානය කළයුතුය.

කොත්තමල්ලි ඇට තේ හැන්දක් ,සූදුරු ඇට තේ හැන්දි බාගයක් (තලා),කුරුඳු පොතු කුඩා කැබැල්ලක් ,ගම්මිරිස් ඇට සවල්පයක් ,සුදුලූනු ගෙඩිභාගයක බික්,කරපිංචා ,සියඹලා,අවශ්‍ය පමණ ලුනු යන සියල්ල මැටි භජනයකට දමා වතුර කෝප්ප හතරක් දමා ලිප තබා වතුර කොප්ප දෙකකට සිඳ රසවත් තැම්බුම් හොද්දක් සකසා ගත හැකිවේ .එය රෝගී නිරෝගී කාටත් ගුණදායකය.

ආහාර ගත් සැනින් නින්දට යෑම කිසි සේත්ම යොග්‍ය නොවේ.

ආහාර විහරණ කෙරෙහි සැලකිළිමත් වෙමින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් දිය වැඩියාව සුවකරගතහැකි ය.

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ,
බොරැල්ල දේශීය ආයුර්වේද ශික්ෂණ රෝහලේ
වෛද්‍ය දයාංගනී සේනාසේකර

උපුටා ගැනීම : www.silumina.lk

ඇසේ සුද

උපතින්ම අන්ධවීමට වඩා ඇසේ පෙනීම හොඳින් තිබී අන්ධභාවයට පත්වීම දරාගත නොහැකි තරම් වේදනාවකි. එම වේදනාව මොතොතකට හෝ අත්විඳීමට අප අකමැතිය. ඊට කදිම නිදසුනක්‌ දක්‌වතොත් ඔබ මොහොතක්‌ තදින් ඇස්‌ පියා ගන්න. ඔබට කෙතරම් අන්ධකාර බවක්‌ දැනේද? එය මුළු දිවි ඇති තුරාවට පැවතිය හොත් අනේ එහෙම නම් වෙන්න එපා යෑයි ඔබ කියනු ඇත. නමුත් එසේ පැවසුවාට පළක්‌ නැත. එසේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගත යුතුය.

ලෝකයේ මේ වන විට අන්ධභාවයට පත්විය හැකි දෘෂ්ඨි ආබාධ අතරින් ඇසේ සුද (Cataract) පළමු ස්‌ථානයේ පවතී. ඇසේ සුද ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය සොයාගෙන වසර 500 ක්‌ පමණ ගතවී ඇත. ඉන්දීය ජීවකයකු වන සුසත්‍ර නමැති අක්‌ෂි වෛද්‍යවරයා විසින් පළමු වරට ඇසේ සුද ඉවත් කිරීමේ ප්‍රතිකාරය සිදු කරන ලදී. එදා ඔහු එය සිදු කරන ලද්දේ ඉඳිකටුවකිනි. ඇසේ මතුව ඇති සුද ඇස පිටුපසට තල්ලුකර දැමීම ඔහු විසින් සිදු කරනු ලැබූ ප්‍රතිකාර ක්‍රමයයි. වර්තමානයේ එම ප්‍රතිකාර ක්‍රමය කෙතරම් දියුණු තත්ත්වයකට පත්ව ඇතිදැයි කිවහොත් සැත්කමකින් තොරව ඇසේ සුද ඉවත් කිරීම දක්‌වාවූ ප්‍රතිකාර ක්‍රම පවතී.

ඇසේ සුද

ඇසේ සුද ඇතිවීම යනු ඇස තුළ ඇති කාචයේ විනිවිද බව අඩුවී යැමය. එය උපතින්ම හෝ පසුකාලීනව ඇතිවිය හැකිය. එනම් මැදිවියට යනවිට, දිය වැඩියාව රෝගය නිසා, ස්‌ටිරොයිඩ් වර්ගයේ ඖෂධ දිගුකාලයක්‌ ගන්නා විට සහ ඇසට ඇතිවූ අනතුරකදීය. එවිට සිදුවන්නේ අක්‌ෂි කාචයේ ඇති ප්‍රොaටීන සංයුතිය වෙනස්‌ වීමය. සිරුරේ වැඩිම ප්‍රොaටීන ප්‍රමාණයක්‌ පවතින්නේද අක්‌ෂි කාචයේය. එය 30% පමණ ප්‍රමාණයකි.

ඇසේ සුද වර්ග

ඇසේ සුද වර්ග තුනකි. අක්‌ෂි කාචය ආවරන පටලයේ (Capsule) මතුවූ සුද අක්‌ෂි කාචය මැද (Cortex) මතු වූ සුද සහ අක්‌ෂි කාචය ඇතුළත පටලයෙහි (Nuclens) ඇතිවූ සුද එම වර්ග තුනයි.

ආවරණ පටලයේ සුද (Capsule)

අක්‌ෂිකාචයේ ආවරණ පටලයේ සුද මතුවීම දැකිය හැක්‌කේ උපතින්ම ඇසේ සුද ඇති අයගේය. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ ගැබිණි සමයේදී මවට රුබෙල්ලා උණ මතුවූ විටදීය.

මැද පටලයේ සුද (Cortex)

දියවැඩියාව සහ ස්‌ටිරොයිඩ් වර්ගයේ ඖෂධ දිගු කාලයක්‌ ගන්නා අයගේ ඇසේ සුද අක්‌ෂි කාචය මැද පටලයෙහි ඇතිවේ.

ඇතුළත පටලයේ සුද (Nuclens)

මැදිවියට පත්වන විට එනම් වයස අවුරුදු 60-80 අතර වියේදී ඇසේ සුද මතුවන්නේ අක්‌ෂි කාචය ඇතුළත පටලයේය.

ඇසේ සුදට ප්‍රතිකාර

ඇසේ සුදට ප්‍රතිකාර කිරීමේදී සුද ඇතිවී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. උපතින්ම ඇසේ සුද ඇතිවූ දරුවකුගේ ඉපදී දින 2-3 න් අතර කාලයකදී සුද ඉවත් කිරීමේ ප්‍රතිකාරය කරනු ලැබේ.

උපතින්ම ඇතිවූ සුද ඉතා ඉක්‌මණින් ඉවත් කළ යුත්තේ එසේ නොවුන හොත් අලස ඇස තත්ත්වය ඇතිවිය හැකි නිසාය. එසේම වපරය ඇතිවීමට ද පිළිවන.

ඇසේ සුද යනු වෛරස හෝ බැක්‌ටීරියා ආසාදනයක්‌ නොවේ. එබැවින් උපතින් පසු සුද මතුවූ අයගේ ඊට ප්‍රතිකාර කරනු ලබන්නේ එය වර්ධනය වන ආකාරය සහ ඇසේ සුද නිසා පෙනීම දුර්වල වන ප්‍රමාණය අනුවය.

මතුව ඇති සුද නිසා ඇස්‌ කණ්‌ණාඩි පැළඳීමේදීද පෙනීම දුර්වලවේ නම් වහාම සුද ඉවත් කළ යුතුය.

ඇසට අනතුරක්‌ ඇතිවූ විට මතුවන සුද ඉතා ඉක්‌මනින් වර්ධනය වේ. එබැවින් ඇසට අනතුරක්‌ සිදුවූ විට වහාම අක්‌ෂි වෛද්‍යවරයකු වෙත ගොස්‌ ඇස පරීක්‍ෂා කරගත යුතුය.

ඇසේ සුද ඉවත් කළ පසු නැවත එය වර්ධනය නොවේ. වර්තමානයේ නවීන තාක්‌ෂණික ක්‍රම භාවිතා කරමින් ඇසේ සුද ඉවත් කිරීමේ ප්‍රතිකාර කරනු ලබයි. එනම් ලේසර් කිරණ භාවිතා කරමින් ප්‍රතිකාර කරයි. මෙම ප්‍රතිකාරයේදී සුද ඉවත් කිරීමෙන් පසු ඇසට අක්‌ෂි කාචයක්‌ යෙදීමේදී සැත්කමකින් තොරව එන්නත් කටුවක්‌ පමණක්‌ භාවිත කර අක්‌ෂි කාචය ඇසට ඇතුළු කරනු ලැබේ.

දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරන නවීනතම ප්‍රතිකාරය වනුයේ අල්ට්‍රා සවුන්ඩ් ප්‍රතිකාර ක්‍රමයයි. (Phaco Emul sifi Cation)

දියවැඩියාව නිසා ඇසේ සුද මතුවන්නේ රුධිර සීනි ප්‍රමාණය මිලි ග්‍රෑම් 200 ට වැඩි වූ විටදීය. එබැවින් දිය වැඩියාව පාලනය කර ගැනීමෙන් සුද ඇතිවීම සහ මතුවූ සුද වර්ධනය වීම පාලනය කරගත හැකිය.

මැදිවියට යන විට ඇසේ සුද මතුවීම නිතර හිරු එළියට නිරාවරණය වන රටවල ජනතාවට වයස අවුරුදු 50-60 වන විට ඇති විය හැකිය. හිරු එළියට නිතර ඇස්‌ නිරාවරණය නොවන රටවල ජීවත්වන පුද්ගලයන්ට වයස අවුරුදු 60-80 අතර වියේදී ඇසේ සුද මතුවේ.

සුද ඉවත් කළ පසු

වර්තමානයේ අප රටේ සැත්කම් මගින් සුද ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය පමණක්‌ භාවිතා කරන නිසා සැත්කමින් පසු නිසි වෛද්‍ය උපදෙස්‌ අනුගමනය කළ යුතුය. එය අදාළ සැත්කම අනුව තීරණය වේ.

අල්ට්‍රාසවුන්ඩ් ක්‍රමයට සුද ඉවත් කර කාච යෙදූ විට පැය 24 කින් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

සැත්කම් සිදුකර ඇසේ සුද ඉවත් කර මැහුම් යොදමින් අක්‌ෂි කාචය යෙදූ විට මාස 11/2 ක්‌ පමණ යනතුරු බර වැඩ කිරීමෙන් වැලකීම, තද ආහාර වර්ග සැපීම සිදු නොකිරිම සපත්තුවේ ලේස්‌ ගැට ගැසීම වැනි හිස පහත් කර සිදු කරන කටයුතු නොකිරීම ආදිය සිදු කරමින් නිසි පරිදි ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය.

ඇසේ සුද ඉවත් කළ පසු ඇස්‌ කණ්‌ණාඩි භාවිතය සඳහා යොමුවිය යුත්තේ එය සිදුකර මාසයක්‌ පමණ ගතවූ පසුය.


නරේෂ් ප්‍රදාන්
දෘෂ්ඨි විශේෂඥ,
වැඩසටහන් අධ්‍යක්‍ෂ,
අයි කෙයාර් අධ්‍යාපන ආයතනය


උපුටා ගැනීම : www.divaina.com

Friday, November 11, 2016

පැපොල

බෝවෙන රෝග දෙවියන්ගේ ලෙඩ ලෙසයි ඒකාලේ අපේ මුතුන් මිත්තෝ හැඳින්වූයේ. මේ දෙයියන්ගේ ලෙඩට කිසිදු ප්‍රතිකාරයක් නොකොට නිවාස අඩස්සියේ තබා ගන්නේ, රෝගය අන් අයට බෝවෙන නිසා.

විශේෂයෙන් ‘පැපොල’ වැනි රෝගයකදී කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව නිවසේ තබා ගැනීමේදී ඇතැම් විට ‘පැපොල ‘ රෝගයේ ඇතිවන බිබිලි ආසාදනයට ලක්වී නොයෙකුත් සංකුලතා ඇති වන්නට පුළුවන්. එවිට වෛද්‍යවරයකු වෙත නොගිහින්ම බැහැ. ඇත්තටම මේ ‘පැපොල’ රෝගයට ප්‍රතිකාර ගත යුතුමද?

වෛද්‍ය විද්‍යාව හාස්කම්පාන වර්තමානයේ මෙවැනි රෝගයකට ප්‍රතිකාර නොකළොත් මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ආරෝග්‍යා දැනුවත් කරනුයේ කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතායි.


පැපොල රෝගය ඇතිවන්නේ කෙළෙසද?

පැපොල රෝගය ඇතිවන්නේ වෛරසයක් මගින්. මේ වෛරසය හඳුන්වන්නේ චිකන්පොක්ස් Chickenpox හර්පීස් Herpes ඝනයට අයිති වෛරස් එකකින් (Herpes Zoster)


පැපොල බෝවන රෝගයක්. මෙම රෝගය බෝවන්නේ කිනම් ආකාරයටද?

පැපොල ස්වසන මාර්ගයෙන් පහසුවෙන් බෝවිය හැකි රෝගයක්. රෝගියාගේ ප්‍රාශ්වාස වාතය නිරෝගී පුද්ගලයකුට ආශ්වාස කිරීමට ලැබීමෙන් මේ රෝගය බෝවෙනවා.

පැපොල රෝගය බෝවෙන්නේ හුස්ම ගැනීමෙන් පමණක්ද? රෝගියා පරිහරණය කළ ඇඳුම් පැළඳුම් පාවිච්චි කළ ආහාර පාන - කෙළ ආදියෙන් බෝවෙන්නේ නැද්ද?

නැහැ. රෝගියා පරිහරණය කළ කිසිදු දෙයකින් බෝවෙන්නේ නැහැ. ජලයෙන්, කෙළ වලින් බෝවෙන්නේ නැහැ

. මෙම රෝගය බෝවීමට විශේෂිත වූ වයස් සීමාවක් තිබෙනවාද?

නැහැ. ඕනෑම වයසකදී බෝවිය හැකියි. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් එක ලෙස බෝවෙනවා. නමුත් කුඩා දරුවන්ට පැපොල බෝවීමේ ප්‍රවණතාවය වැඩියි. හේතුව සාමන්‍යයෙන් ඕනෑම ලෙඩක් ඉක්මණින්ම බෝවෙන්නේ කුඩා දරුවන්ට නිසා. කුඩා කාලයේදී මෙම රෝගය වැළඳීමේදී ඇතිවන සංකුලතා වැඩිහිටි වියේදී පැපොල වැළඳීමේදී ඇතිවන සංකුලතාවලට වඩා අවමයි. නමුත් වඩාත්ම වැදගත් වන්නේ පැපොල රෝගයෙන් වැළකීමයි.


පැපොල රෝගයේ රෝග ලක්ෂණ මතු වන්නේ විෂබීජය ශරීරගතවී කොපමණ කාලයකට පසුවද?

විෂබීජය ශරීරගතවී දින 18 පමණ සති 2 සිට සති 3 අතර කාලයක් ගතවනවා. ඉන් අනතුරුවයි රෝග ලක්ෂණ මතු වන්නේ. මූලිකව රෝග ලක්ෂණය ලෙස අපි දකින්නේ උණ ඇති වීමයි. තරමක් සැරට උණ ගන්නවා. දෙවැනි - තුන්වැනි දිනවල ශරීරයේ බිබිලි දැමීමට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඕනෑම රෝගයකට මූලික ලක්ෂණ උණ බැවින් මෙය බෝවෙන පැපොල වශයෙන් දැනගත හැකි වන්නේ සිරුරේ බිබිලි හට ගැනීමෙන් අනතුරුවයි.

බිබිලි වල දියර පිරෙන්නට පටන් ගන්නවා. පසුව දියර පැසවීමට ලක්වී අවසානයේදී කබොලක් බවට පත්වනවා. බිබිලි තුන්වැනි දිනයේ සිට දින හතක් යනතෙක් මතුවන අතර සමහර බිබිලි පැසවන කාලයේදී අලුත් බිබිලි මතුවන්නට පටන් ගන්නවා.


මේ ඇතිවන බිබිලි වල ස්වරූපය කෙබඳුද?

මේ බිබිලි ඇතිවී මුල් දවසේදී අපට දක්නට ලැබෙන්නේ පාරදෘෂ්ටි තත්ත්වයක්. ක්‍රමයෙන් පැසවූ ස්වරූපයක් ඇති වී පසුව කබොලක් බවට පත්වනවා. මේ බිබිලි කබොල බවට පත්වන්නට සතියක් පමණ කළක් ගතවනවා. ඇතැමුන්ට බිබිලි ඇතිවන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඇතැමුන්ට වැඩි වෙනවා. මේ අඩු වැඩිවීම රඳා පවතින්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය මතයි.

පැපොල වැළඳීමෙන් අනතුරුව යම් යම් සංකුලතා ඇතිවන බව ඔබ පැවසුවා. මොනවද මේ සංකුලතා?

පැපොල වැළඳී සති 2 - 3 ඇතුළත සම්පූර්ණයෙන්ම සුව වුණත් එම රෝග විෂබීජය ශරීරය තුළ තිබෙනවා. ඇතැම් විට වසර 20 - 30,40 කට පසුව මෙම රෝග විෂබීජය වෙනත් රෝගයක් ලෙස මතුවනවා. එම රෝගය හඳුන්වන්නේ හර්පීස් සොස්ටර් (Herpes Zoster) ලෙසින්. පැපොල වැළඳුනු සියලු දෙනාටම (Herpes Zoster) ඇතිවන්නේ නැහැ. නමුත් වයසට යෑමත් සමඟ අපගේ සිරුරේ ඇති ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීන වී යටපත් වූ විෂබීජය හිස ඔසවා එන්නට පුළුවන්.


හර්පීස් සොස්ටර් ලෙස හඳුන්වන මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?


ශරීරයේ එක පැත්තක තීරුවක් මත බිබිලි මතු වනවා. හර්පීස් සොස්ටර් රෝගය වැළඳුන කෙනෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔහුට පැපොල වැළඳී තිබෙන්නට ඕනෑ. හර්පීස් සොස්ටර් රෝගයත් බෝවෙනවා. මෙම රෝගය බෝවීමේදීත් බෝවන්නේ හර්පීස් සොස්ටර් ලෙස නොවෙයි. පැපොල රෝගය ලෙසයි. ‘හර්පිස් සොස්ටර්’ වැළඳීමේදී ස්නායු වලටත් බලපෑමක් සිදුවන නිසා අධික වේදනාවක් ඇතිවනවා. වයසට යාමේදී ප්‍රතිශක්තිකරණය හීනවීම නිසා ‘හර්පීස් සොස්ටර්’ රෝගීන්ට දීර්ඝ කාලයක් මේ රෝගයේ සංකුලතා ඇති වී වේදනාවත් දිගු කළක් පවතිනවා.


‘හර්පීස් සොස්ටර්’ වැළදෙන්නේ සිරුරේ වෙන කුමන කොටස් වලද?

සමහරවිට මුහුණේ පවා ඇති වන්නට පුළුවන්. සමහර විට ඇස ප්‍රදේශයේ ඇති වුවහොත් ඇස අන්ධ වන්නටත් පුළුවන්.


පැපොල රෝගය නිසා ඇතිවන සංකුලතා මතුවන්නේ වසර ගණනකට පසුව පමණද?

නැහැ පැපොල සෑදුණු පුද්ගලයන් බිබිලි වලට නොයෙකුත් ආලේපන ආලේප කිරීම නිසා විෂබීජ ඇතුල් වී බිබිලි ආසාදිත තත්ත්වයකට පත්වන්නට පුළුවන්. එවිට තුවාලමය තත්ත්වයක් උදාවිය හැකියි.

පැපොල් රෝගියකු මතක තබාගත යුතු කරුණු වන්නේ කිසිදු ආලේපනයක් ආලේප නොකොට ස්වභාවිකව බිබිලි සතියකට පසු කබොල් බවට පත්වන තෙක් සිටීමයි. එය ඉබේම හොඳ වෙනවා. එසේම පැපොල වැඩිහිටියන්ට වැළඳුනුවිට ඇතැමුන්ට නියුමෝනියාව ඇති වන්නට ඉඩ තිබෙනවා. එම නියුමෝනියාව දරුණු තත්ත්වයකට පත්වන්නට පුළුවන්.

ඊට අමතරව පැපොල වෛරස මොළේට බලපෑම් කොට මොළේ Encephalitis තත්ත්වයක් ඇතිවනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්. කුඩා දරුවන්ට පැපොල වැළඳෙනවාට වඩා වැඩිහිටියන්ට පැපොල වැළඳීමේදී මොළේ ඉදිමීම Encephalitis තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි.

ඒ සමඟම හෘද වස්තුවට බලපෑම් සිදුකර වයෝකාඩයටීස් තත්ත්වයක් උද්ගත වන්නට පුළුවන්.

පැපොල එවකට බොහෝ දෙනා හැඳින්වූයේ ‘දෙයියන්ගේ ලෙඩ’ යනුවෙන්. පැපොල රෝගයට ප්‍රතිකාර කිරීමක් සිදු කළේ නැහැ. වර්මානයේ ඒ තත්ත්වය වෙනස් නේද?

1980 ගණන් වනතුරු පැපොල රෝගයට ප්‍රතිකාරයක් තිබුණේ නැහැ. හේතුව මෙය වෛරස් රෝගයක්. ප්‍රතිජීවක ලබා දෙන්නේ බැක්ටීරියාවකින් වැළඳුනු රෝග සඳහා පමණයි හේතුව බැක්ටීරියා මර්දනය කළ හැක්කේ ප්‍රතිජීවක (antibiotic) වලට පමණක් නිසා. ප්‍රතිජීවක වලින් වෛරස් විනාශ කරන්නට නොහැකි නිසා පැපොල රෝගයට ප්‍රතිජීවක ලබා දුන්නේ නැහැ.

1980 ගණන් වලදී මෙම වෛරස් මරණ ඖෂධ සොයාගැනීමෙන් අනතුරුව හර්පීස් නැමැති පැපොල සාදන වෛරසයටත් ඖෂධ සොයා ගනු ලැබුවා. එය හඳුන්වන්නේ ‘acyclovir’ නමින්. මෙම ඖෂධය ලබා දෙන්නේ මෙම වෛරසය මර්දනය කිරීමටයි.

උණ සැදී බිබිලි එක දෙක ආවිට වෛද්‍යවරයකුගේ නිර්දේශය මත මෙම ඖෂධය ලබාගත යුතුයි. එවිට බිබිලි මතුවන්නේ නැහැ. අපහසුතා කිසිවක් ඇති නොවී රෝගය සුව වනවා. මේ ඖෂධය නිසා මුළු සිරුර පුරාවට බිබිලි ඇතිවන්නේ නැහැ. ඒ සමඟම මෙම ඖෂධය නිසා මොළයට බලපෑම් සිදුවීම, නියුමෝනියාව වළකිවනවා. මේවා පෙති වශයෙන් ගත හැකියි. මෙම acyclouir නැමැති antivirals ඖෂධය ලබාදීමෙන් රෝගය මර්දනය වී රෝග ලක්ෂණ අඩු වී සාමාන්‍ය රෝගයක් බවට පත්වනවා.

ඇතැම් අයට පැපොල රෝගය වැළඳී අවසානයේදී සිහි මද ගතිය ඇතිවනවා. එයට හේතුව මොළේ ඉදිමී එන්සෙෆර්ලයිටීස් බවට පත්වීමයි. එවිට මෙම ඖෂධය එන්නත් මාර්ගයෙන් රෝගියාට ශරීරගත කළ යුතුයි. මේ අවස්ථාවේදී රෝගියා රෝහල්ගත කළ යුතුයි.

ඒ නිසා පැපොල හැදුනු වහාම මේ ඖෂධය ලබාගත යුතුමයි. මේ හරහා හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. කිසිදු සංකුලතාවක් ඇති වන්නේ නැහැ. පැපොලට බෙහෙත් තිබෙනවා.

ඒ නිසා බෙහෙත ලබාගෙන පැපොල සුවකර ගන්න. මෙම බෙහෙත ලබා ගැනීම නිසා පැපොල පිට දැමීමක් හෝ නැවත පැපොල හැදීමක් ගැන යමෙක් පවසනවා නම් එය මිත්‍යාවක්. නමුත් මේ ඖෂධය ලබා ගත්තත් හර්පීස් සෙනස්ටර් හැදෙන්නට පුලුවන්.


පැපොල සැදුන රෝගියකුගෙන් තව කෙනෙකුට බෝවෙන්නේ කිනම් කාලයකද?

උණ සෑදී දින දෙක තුනෙන් බිබිලි හටගත් අවස්ථවේදීම බෝවන්නට පටන් ගන්නවා. පැපොල විෂබීජය ශරීරගත වී සති 2 - 3 ඇතුලත කිසිවකුට බෝවෙන්නේ නැහැ. රෝග ලක්ෂණ පැමිණි පසුවයි බෝ වෙන්නේ. උණ වැළඳුනු දා පටන් සතියක් වනතුරු පැපොල රෝගයේ කබොල වැටෙන තුරු බෝවෙනවා. ඉතාමත් ඉක්මණින් සහ පහසුවෙන් මෙම රෝගය බෝවෙනවා.


පැපොල රෝගය වැළඳීමෙන් වළක්වා ගැනීමට ගතයුතු පිළියම් කුමක් ද?

ඒ සඳහා එන්නතක් තිබෙනවා. පැපොල වැළඳීමෙන් ආරක්ෂා වීමට. පැපොල දෙයියන්ගේ ලෙඩ ලෙස හැඳීන්වුවද එය කිසිදු මිත්‍යා බලයකින් ඇතිවන රෝගයක් නොවෙයි. වෛරසයකින් ඇතිවන රෝගයක් නිසා විෂබීජය ශරීරගතවීමට පෙර එන්නත් ලබා ගතහොත් රෝගය වැළඳීමෙන් වළක්වා ගත හැකියි.


මෙම රෝගයට ආහාරපාන ගැන විශේෂ සැළකිල්ලක් දැක්විය යුතුද?

නැහැ. සාමාන්‍යයෙන් වෙනදා ආහාරයට ගන්න. මස් මාළු ඕනෑම දෙයක් ආහාරයට ගත හැකියි. සාමාන්‍යයෙන් තමන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආහාරපාන ගතයුතුයි. මෙම රෝගය ආහාර මාර්ගයට බලපෑම් ඇති කරන රෝගයක් නොවෙයි.

පැපොල සුව වී කබොල ගැලවී ඉවත් වූ පසු නෑමට ද පුළුවන්. සාමාන්‍යයෙන් දින 14කට පසු රැකියාවට හෝ පාසලට යා හැකියි. කබොල තිබෙන තෙක් සාමාන්‍ය කටයුතුවල සහ සමාජ ඇසුරේ නොගැවසී සිටිය යුතුයි.


පැපොල රෝගය සඳහා එන්නත් කුඩා දරුවන්ට ලබාදෙන එන්නත් කාණ්ඩයට ඇතුළත්ද?

නැහැ. නමුත් පැපොල රෝගයෙන් වළක්වා ගැනීමට අවශ්‍ය එන්නත් රෝහල්වල තිබෙනවා.

එබැවින් එම එන්නත ලබාගෙන මෙම රෝගයෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය දෙයක්.



උපුටා ගැනීම : dinamina.lk

කම්මුල්ගාය

කම්මුල්ගාය ද වයිරසක් මඟින් සෑදෙන රෝගී තත්ත්වයක්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මඟින් පමණක් දැක බලාගත හැකි ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවියෙක් වන මෙම වෛරසය Mumps Virus ලෙස හැඳින්වෙනවා. පැපොල ‍රෝගයේ දී මෙන්, කම්මුල්ගාය රෝගය වැලඳුණ ‍රෝගියකු ගේ ද ප්‍රශ්වාස වාතය මඟින් සහ ස්පර්ශයෙන් තවත් කෙනකුට ‍ෛ‍වරසය ඇතුළු විය හැකියි.



* රෝග ලක්ෂණ මතු වන්නේ වෛරසය ශරීරගතවී කොපමණ කාලයකට පසුව ද?

යම් වෛරසයක් ශරීරගත වී රෝග ලක්ෂණ මතුවන තෙක් කාලය හඳුන්වන්නේ බීජෞසන සමය ලෙසයි. කම්මුල්ගාය සඳහා එම කාලය දින 17 - 28 ත් අතර වෙනවා. එම රෝගියකුගෙන් තවත් කෙනකුට රෝගය බෝ විය හැකි කාලය හැඳින්වෙන්නේ ආසාදිත සමය යනුවෙන්.


* කම්මුල්ගාය රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද?

‍රෝගයට හේතු කාරකවන වෛරසයෙන් ප්‍රධාන වශයෙන් ආසාදනය වන්නේ කනට යටින් සහ ඉදිරියෙන් පිහිටි පැරොටිඩ් නමැති ඛේට ග්‍රන්ථයයි. මෙහිදී මුහුණේ දෙපසම හෝ එක් පැත්තක ඛේට ග්‍රන්ථිය ඉදිමිය හැකියි. සමහර කෙනකුට යටි තල්ලේ පිහිටි ඌර්ධවහනුක ඛේට ග්‍රන්ථිය ද ආසාදනය වී ඉදිමිය හැකියි. කෙසේ වෙතත් මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන කනට යටින් පිහිටි පැරොටිඩ් නමැති ඛේට ග්‍රන්ථියේ ඉදිමුම ප්‍රදර්ශනය වීමට දින 3 ට පෙර හා, ඉදිමුම ඇතිවී දින 3 ක් ගෙවෙන තුරු රෝගියාගෙන් තවත් කෙනකුට රෝගය බෝ විය හැකියි.


* කම්මුල්ගාය රෝගියකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ද?

සමහර අයගේ කන අසල වෙනත් වසා ගැටිති ඉදිමීම නිසාත්, උගුරේ ආබාධ හා දන්තාබාධ නිසාත් කම්මුල්ගාය හා සමාන රෝග ලක්ෂණ මතුවිය හැකියි. ඒ පිළිබඳව සැකයක් තිබේ නම් නිවැරැදි ‍රෝග විනිශ්චයක් සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වීම වඩාත් සුදුසුයි. මීට අමතරව වෙනත් සංකූලතා මතුව තිබේ නම් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි‍.


* එම සංකූලතා මොනවාද?

කම්මුල්ගාය වැලඳුණු රෝගියකු රෝගය සෑදී දින 10 ක් පමණ ගිය පසු අධික හිසරදයක්, උණ සහ බෙල්ලේ කැක්කුමක් ඇති වේ නම්, ඊට හේතුව එම වෛරසය මොළයට ඇතුළු වීම නිසා ඇති වූ Encephalitis හෝ Meningitis නම් මොළයේ ආසාදනය විය හැකියි. ඒ වගේ ම එම වෛරසය මගින් අග්න්‍යාශය, ඩිම්බ කෝෂ, හෘදය, පියයුරුවල ක්ෂීර ග්‍රන්ථි, අක්මාව හා හන්දිපත් ආසාදනය විය හැකියි. එය ඉතාම කලාතුරකින් සිදුවිය හැකි දෙයක්. එවැනි අවස්ථාවක් එම ඉන්ද්‍රිය ප්‍රදේශයේ වේදනාවක් ඇතිවිය හැකියි. එවැනි සංකූලතා ඇති ව‍ූ වහාම සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු වීම අත්‍යවශ්‍යයයි.


* කම්මුල්ගාය වැලදුණ පිරිමි අය වඳ බවට පත්වෙනවාද?

එසේ විය හැකියි. එහෙත් ඉතාම කලාතුරකින්. ඊට හේතුව කම්මුල්ගාය සාදන වෛරසය වෘෂණ කෝෂවලට ද හානි කිරීමයි. කෙනෙක් වඳ බවට පත් වන්නේ එම වෛරසය නිසා වෘෂණ කෝෂ දෙකම විනාශ වූයේ නම් පමණයි. ඒ නිසා කම්මුල්ගාය වැලඳුණ රෝගියකු වෘෂණ කෝෂ ඉදිමුම හා වේදනාව ඇති වුවහොත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.


* කම්මුල්ගාය රෝගයට ඖෂධ ප්‍රතිකාර තිබෙනවාද?

මෙම රෝගය සඳහා තවම ප්‍රතිජීවක ඖෂධ සොයාගෙන නොතිබුණත් එය වළක්වා ගැනීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබෙනවා. එය MMR හෙවත් ‘Mumps Measles and Rubella’ නමින් හඳුන්වන එම එන්නත කම්මුල්ගාය, සරම්ප හා රුබෙල්ලා යන රෝග තුනම වළක්වා ගැනීම සඳහා නිපදවූවක්. වයස අවුරුද්ද ඉක්මවූ අයට එන්නත ලබාදිය හැකි අතර ‍ගර්භණී කාලයේදී හෝ උණ රෝගයකින් පෙළෙන විට දී, ප්‍රතිශක්ති ඌනතා රෝගයකින් පෙළෙන අවස්ථාවන් හිදී එම එන්නත ලබා නොදිය යුතුයි. මීට අමතරව කම්මුල්ගාය පමණක් වැළැක්වීම සඳහා අවශ්‍ය නම් Mumps Vaccine එන්නත ද ලබා දිය හැකියි.


* කම්මුල්ගාය රෝගියකුට නිවෙසේදී කළ හැකි හෙදකම් මොනවාද?

එවැනි රෝගියකු උණ සහ වේදනාවෙන් පෙළේ නම් එය සමනය කිරීම සඳහා පැරසිටමෝල් වැනි ඖෂධයක් ලබාදිය හැකියි. ආහාර සැපීමේදී ඛේට ග්‍රන්ථවල වේදනාවක් ඇතිවිය හැකි නිසා එවැනි රෝගියකුට දියර ආහාර වර්ග වඩාත් සුදුසු ය. උදාහරණ ලෙස කැඳ, කිරි සහ දියර පාන වර්ග. මීට අමතරව බිත්තර, කේක්, බනිස් සහ හොඳින් තැම්බූ නිවුඩු බත් වැනි පහසුවෙන් හැපෙන ආහාර දීම ද වරදක් නොවේ.

කම්මුල්ගාය රෝගීන්ගේ මුඛයෙහි වියළි බව නැති කිරීමට නිතර කට‍ සේදීමෙහි ද වරදක් නැත. රෝගියාගේ කම්මුල් වේදනාකාරී නම් මද ‍රස්නය ඇති වතුරින් තැවීමෙන් සහනයක් ලද හැකියි.

* කම්මුලෙහි ඉදිමුම අඩු කිරීම සඳහා සමහර අය අලිහක්ක උරචිචි කර ගෑම, සුදු රෙදි කඩක නිල් කුඩු දියකර සමමත ආලේප කිරීම ආදී දේ සිදුකරනවා. මේවා අහිතකරද?

අතීතයේ සිට පැවත එන මෙම ක්‍රමවේදයන් ගේ වරදක් හෝ අගුණයක් නොපෙනුණත් රෝගය සුව කිරීම සඳහා එහි ඇති සුවිශේෂත්වයක් ද නෑ. එහෙත් කම්මුල්ගාය සැදුණ කෙනෙකු ගේ සම්මත යම් වර්ණයක් ආලේප කිරීමෙන් ඔහු බෝවෙන රෝගයකින් පෙළෙන බව අන් අයට සන්නිවේදනය කළ හැකියි. එමෙන් ම අලිහක්ක ‍උරච්චි කර ආලේප නොකළ ද කම්මුල් ඉදිමීම දින හතරකින් පමණ සුව වෙනවා.


කම්මුල්ගාය රෝගීන් ද දින හතකින් නැහැවිය යුතු බව ‍පවසනවා. මෙහි ඇත්ත නැත්ත කුමක්ද?

කම්මුල් ඉදිමී තිබීම ස්නානය නොකර සිටීමට ‍ෙහ්තුවක් ලෙස සැලකිය යුතු නොවෙයි. එහෙත් රෝගියාට අධික උණක් තිබේ නම්, තෙහෙට්ටු ගතියක් දැනේ නම් නැහැවීම සුදුසු වන්නේ නෑ. අපහසුතාවක් නොවේ නම් ස්නානය සඳහා හරියටම දින 7 ක් යනතුරු සිටීම අවශ්‍ය වන්නේත් නෑ. ඒ වගේ ම සමහර රෝගීන් දත් මැදීමට, කට සේදීමට අපහසු යැයි අපිරිසිදුව, නිදාගෙන ම සිටීමට උත්සාහ කරනවා. එසේ අපිරිසිදුව සිටීම නිසා ද රෝගය සුව වීමට කල් ගත විය හැකියි. ඒ නිසා අපහසු වුව ද නිතර කට සෝදා පිරිසිදුව තබා ගත යුතුයි.

කක්කල් කැස්ස

කොහොමද මේ ලෙඩේ හැදෙන්නේ ?

මේක බැක්ටීරියාවක් නිසා හැදෙන ලෙඩක්. ඒකේ නම Bordatella Portusis

මේ බැක්ටීරියාව බෝ වෙන්නේ ?

වාතය මගින්. ඒ කියන්නේ කහින කොට, කිවිසුම් යන කොට පිටවෙන දේ මගින්.

මේ ලෙඩේ රෝග ලක්ෂණ ?

මේක අපිට හැදෙන්නේ පියවර 3 කින්. පළවෙනි පියවරේදී සතියක් දෙකක් විතර නහයෙන් හොටු ගලනවා. හරියට තද පීනසක් හැදිලා වගේ. කිවිසුම් යනවා. පොඩි උණක් යම් තරමක කැස්සක්ද දකින්න තියෙනවා.

දෙවෙනි පියවර තමයි භයානක. ඒකේ ප්‍රධාන ලක්ෂණය වන්නේ එක දිගට දරුණු ලෙස කැස්ස ඇතිවීමයි. එක වාරයක් දිගටම කැහැලා ඉවර වෙලා ආයෙත් හුස්ම ගන්න අවස්ථාවේදී අමුතුම ශබ්දයක් එනවා.

එම ශබ්දය නිසා මේකට ‘කක්කල් කැස්ස’ යන නම යෙදෙනවා. කොච්චර තදින් කහිනවද කියනවා නම් කුඩා දරුවන්ගේ ශරීරය ඒ වෙලාවට නිල් පාට වෙන්න පුළුවන්. වමනය පවා ඇති වෙන්න පුළුවන්. මේ කැස්ස මාසයක් හෝ ඊට වඩා වැඩි කාලයක් විතර තියෙන්න පුළුවන්.

තුන්වෙනි පියවරත් ටික කාලයක් ඒ කියන්නේ මාසයක් විතර තියෙනවා. මෙහිදී නිව්මෝනියාව හැදීමේ තදබල අවදානමක් තියෙනවා. මේ කාලයේදී රෝගය සුවවෙමින් පවතින නිසා හදිසියේ කැස්ස වැඩිවීමක් සිදුවූවොත් නිව්මෝනියාව හැදිලා තියෙනවද කියන එක සැක කරන්න වෙනවා.

කක්කල් කැස්ස ඇයි මෙච්චර භයානක ?

පළවෙනි කාරණය මේ ලෙඩේට ගත වන කාලය මාස කිහිපයක් වෙන්න පුළුවන්. අනික් අතට ඒ හැදෙන කැස්ස නිසා නිව්මෝනියාවත් දිගටම කහින කොට මොළයට ලේ ගමන අඩාල වෙලා වලිප්පුව මොළය ඉදිමීම වගේ දේත් ඇති වෙන්න පුළුවන්.

එතකොට මේ ලෙඩට ප්‍රතිකාර ?

මේ ලෙඩේට ප්‍රතිකාර තියෙනවා. ඒ වුණත් රෝගය වළක්වා ගන්න එක වැදගත්. ඒ සඳහා එන්නතක් ලබා දෙනවා.

එන්නත ගැන ටිකක් කියන්න ? මෑතක් වන තුරු ත්‍රිත්ව එන්නත ලෙස මෙය අපිට ලබා දුන්නා. දැන් Pontaracent එන්නත ලෙස ත්‍රිත්ව එන්නතත්, Hepatitis B හා Hib එන්නත් එකතු කරලා ලබා දෙනවා. මේ එන්නතේදී කරන්නේ අඩපන කරන ලද කක්කල් කැස්ස බැක්ටීරියාව ශරීරයට ඇතුල් කරලා ඒකට විරුද්ධව ප්‍රතිශක්තියක් ඇඟ ඇතුලේ කලින්ම හදලා තියෙන එක. විෂබීජය විනාශ කර ඇති නිසා එන්නත හේතුවෙන් අපිට ලෙඩේ හැදෙන්නේ නැහැ.

වෛද්‍ය මහින්ද හේමපි‍්‍රය
ශික්ෂණ රෝහල රාගම

උපුටා ගැනීම : dinamina.lk

Monday, November 7, 2016

අපස්මාරය

මිනිස් ශරීරයේ විවිධ කොටස් පාලනය මොළය මගින් සිදුවේ. ශරීරයේ එක් එක් අවයව පාලනය කිරීමට විවිධ තැන් මොළයේ වෙන වෙනම පිහිටා තිබේ. අපස්මාරයට හේතුවන්නේ මොළයේ සිදුවන සාමාන්‍ය විද්‍යුත් ක්‍රියාදාමයේ ඇතිවන අසාමාන්‍ය අධි තත්ත්වයකි. එවිට එම රෝගියාට “ෆිට් එක” එනම් මීමැස්මොර තත්ත්වය (වලිප්පුව) පෙන්වයි. මීමැස්මොරය ලංකාවේ සුලබව පවතින රෝගයකි.  විවිධ වර්ගයේ අපස්මාර තත්ත්ව දැකිය හැක.

රෝගයට හේතු
බහුතරයකට හේතුවක් පැහැදිලිව සොයාගත නොහැක. ජාන මගින් එනම් ආරයෙන් එන බලපෑම ද වැදගත්ය. මීට අමතරව මොළයේ ඇතිවන ගෙඩි, උපතේදී මොළයට වන තැලීම්, අසාමාන්‍ය පිහිටීම්, මොළයට ඇතුල්වන විෂබීජ, හිසට ඇතිවන අනතුරු නිසා ද පසුකාලීනව අපස්මාරය ඇතිවිය හැක.
සමහර අපස්මාර රෝගින්ට විවිධ උත්තේජක නිසා වලිප්පුව (ෆිට්) ඇතිවන බව හඳුනාගෙන ඇත. එම උත්තේජක නම්,
  • මානසික ආතතිය හෝ කාංසාව
  • අධික ලෙස මත්පැන් භාවිතය
  • සමහර ඖෂධ වර්ග ගැනිම (උදා-: විෂාදය සඳහා භාවිතාවන ඖෂධ)
  • නින්ද මදි කම / නිදි මැරීම, අධිකව වෙහෙස මහන්සි වීම.
  • නිරාහාරව සිටීම නිසා රුධිර ගුලූකෝස් මට්ටම පහල බැසීම.
  • දීප්තිමත් සැර ආලෝකය.
  • මාසික ශුද්ධ වීම.
  • උණ ඇතිවන රෝග තත්ත්ව.

සිරුර තුළ ක්‍රියාත්මක වන අයුරු
මොළයේ ඇති නියුරෝන (සෛල මගින් අසාමාන්‍ය ලෙස, අධික ශීඝ්‍රතාවකින් ආවේග නිකුත් කිරීම නිසා වලිප්පුව ඇති වේ. මෙම ආවේග / විද්‍යුත් ක්‍රියාවලිය මොළය පුරා පැතිරුනහොත් රෝගියා සිහිසන් විය හැක.

රෝග ලක්ෂණ
  • ඇඟ දරඳඩු වීම හා ගැහීම.
  • කටින් සෙම / පෙණ ලෙස පිටවීම.
  • ඇස් උඩ යාම.
  • සිහිය නැතිවීම හෝ සිහිය මද වීම.
  • දිව සැපීම, තොල් සෙලවීම.
  • අසාමාන්‍ය ලෙස කෑ ගැසීම.
  • නොදැනුවත්ම මුත්‍ර හෝ මල පහ වීම.

 සංකූලතා
  • රෝගියා ගැසීම නිසා තුවාල සිදුවීම, අස්ථි බිඳී යාම.
  • හිදිසි මරණය.
  • කුඩා කළ සිට දීර්ඝ කාලීනව සිදුවන වලිප්පුව නිසා පසු කාලීනව ඇතිවිය හැකි ඉගෙනීමේ දුර්වලතා, මන්ද බුද්ධික භාවය.
  • ගර්භනී කල ඇතිවුනහොත් දරුවාට හා මවට හානි විය හැක.
  • හදිසි අනතුරු, දියේ ගිලීම.

ප්‍රතිකාර
දරුවාට අපස්මාරය ඇතැයි සැක නම් පමා නොවී රෝහල් ගත කර නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබාදිය යුතුය. වලිප්පුව ඇසින් දුටු කෙනෙක් ඇත්නම්, රෝගය පිළිබඳ නිසි විස්තර සැපයීමෙන් රෝගය නිවැරදිව හඳුනාගත හැක. ඊඊජී, සීටී ස්කෑන් රෝගය හඳුනාගැනීමට උදව් වේ. රෝගය සඳහා ප්‍රතිකාර ඖෂධ රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. මෙසේ ලබාදෙන ඖෂධ නියමිත මාත්‍රාවෙන් දිනපතා ගත යුතුය. හිතු මතේට ඖෂධ නතර කිරිම හෝ නැවැත්වීම නොකරන්න. සුදුසුකම් ලත් වෛද්‍යරයකු ඖෂධ නතර කෙරෙන තෙක් නිති පතා ලබාගත යුතුය.

අපස්මාර රෝගීන් සඳහා ප්‍රායෝගික උපදෙස්.

ඖෂධ ගැනීමේදී -
රෝගය සඳහා දුන් ඖෂධ නියමිත මාත්‍රාවෙන් දිනපතා ගත යුතුයි. බෙහෙත් ගැනීම සඳහා සුදුසු වෙලාවක් වෙන් කර ගන්න. එවිට බෙහෙත් අමතක වීම අවම කර ගත හැක.

රිය පැදවීමේදී -
රියදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමේදී ඔබ අපස්මාරයෙන් පෙළෙන බව සඳහන් කරන්න. පොදු ප්‍රවාහන සේවයේ නොයෙදෙන්න. එනම් බස් රථ දුම්රිය රියදරු ධාවනයෙන් වලකින්න. ඔබ වසර 2 ක් හෝ වැඩියෙන් වලිප්පුව නොසෑදුනේ නම් ඔබේ වාහනය පැදවිය හැකි අතර ඔබ සමග කෙනෙක් රැගෙන යාම සුදුසු වේ.

රැකියාව සඳහා -
සමහර රැකියා (එනම් උස් තැන් වල වැඩ කිරීම, බර වාහන ධාවනය, ගුවන් නියමු වැනි) නිසා ඔබට හෝ අනෙක් මිනිසුන්ට හානි සිදුවිය හැක. කාර්යාල රැකියා. ගුරු වෘත්තිය වැනි රැකියා වඩාත් සුදුසු හා ආරක්ෂිතය.

පාසැල -
ඔබේ දරුවා අපස්මාරයෙන් පෙළෙන බව ගුරුතුමීට දන්වන්න. හදිසි අවස්ථාවකදී කළ යුතු දේ ගැන එවිට ඔවුන් දැනුවත් වන බැවින් බොහෝ අපස්මාරය ඇති දරුවන්ට වෙනත් දුබලතා නැත. ඔවුන්ගේ රෝගය බෙහෙත් මගින් හොඳින් පාලනය කල හැක. නමුත් සමහර දරුවන්ට ඉගෙනීමේ දුර්වලතා ඇත්නම් විශේෂ පාසලකට හෝ විශේෂ පංති ඇති සාමාන්‍ය පාසලකට යෙදවීම සුදුසුයි.

ක්‍රීඩා -
අපස්මාරය වැළඳීම දරුවාගේ ක්‍රීඩාවට බාධාවක් කර ගන්න එපා. ඔවුන්ට සාමාන්‍ය පරිදි ක්‍රීඩාවේ යෙදීමට ඉඩ සලසන්න. නමුත් පිහිනීම වැනි ක්‍රීඩා වලදී පුහුණු අධීක්ෂණය අත්‍යාවශ්‍යයි.

ගමන් බිමන් යාමේදී -
ඔබේ ගමන් බිමන් යාමේදී ඖෂධ සියල්ල රැගෙන යන්න. අනවශ්‍ය ලෙස ගමන් සීමා කරන්න එපා. දිගු ගමන් වලදී ඔබ වෙහෙසට පත්වන නිසා වලිප්පුව ඇතිවිය හැකි අවදානම වැඩියි. ළඟ සිටින කෙනෙකුට ඔබේ තත්ත්වය පවසා සිටීම වැදගත් වේ.
  • පුළුවන් තරම් සාමාන්‍ය දිවි පෙවතක් ගත කරන්න. ඔබට අපස්මාරය පවතින නිසා පසුබට වෙන්න එපා.
උපත් පාලන පෙති ගැනිමේදී -
අපස්මාරයට දෙන සමහර ඖෂධ නිසා උපත් පාලන පෙත්තේ සාර්ථකත්වයට බලපෑ හැකි බැවින්, අනවශ්‍ය ලෙස ගැබ් ගත හැක. එම නිසා උපත් පාලන ක්‍රමයක් සඳහා වෛද්‍ය උපදෙස් පැතීමේදී ඔබ අපස්මාරයෙන් පෙලෙන බව වෛද්‍යවරයාට පවසන්න.

ගර්භණී සමයේදී -
ගර්භණී තත්ත්වය අපස්මාරය රෝගය වැඩි කිරීමට බල නොපායි. නමුත් අපස්මාර ඖෂධ ඉතා සුළු ප්‍රතිශතයකින් උපදින දරුවාට බලපෑ හැක. ගර්භණී වීමට ප්‍රථමයෙන් ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. ගර්භණී වීමට කලින් හා ගර්භණී සමයේදී ෆෝලික් අම්ලය වැඩිපුර ගත යුතුයි. ඔබ ගර්භණී වීම නිසා හිතුමතේට ඖෂධ නවත්වන්න එපා. එමගින් හදිසියේ ඇතිවිය හැකි වලිප්පු නිසා  ඔබටත් දරුවාටත් හානි සිදු විය හැක.
  • සමහර ‍රටවල් වල අපස්මාර රෝගීන් විශේෂ අත් පලඳනා භාවිතා කරයි. හදිසියකදී ඇමතිය යුතු අය හා දරකථන අංක එහි සඳහන්ව ඇත.


ආරක්ෂාව
  • උස් තැන්. ගින්දර, තියුණු උපකරණ අසල ගැවසීමෙන් වළකින්න.
  • තනිව ජීවත් වීම අහිතකරයි.
ඔබ වලිප්පුවෙන් පෙළෙන අයෙක් දුටු විට කුමක් කල යුතුද ?
  • උදව් ඉල්ලා සිටින්න.
  • රෝගියා සෙමෙන් පැත්තට හරවන්න. එනම් වම් ඇලයට හරවන්න.
  • රෝගියාගේ මුව තුලට කිසිවක් නොදමන්න.
  • රෝගියා අසල ඇති ඔහුට හානි සිදු විය හැකි දේ ඉවත් කරන්න.
  • විනාඩි 5 කට වඩා පලිප්පු තත්ත්වය පවතී නම් හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන යන්න.
  • කිසිවිටෙක අපස්මාර රෝගියකු කොන් කරන්න එපා

රෝග නිවාරණය හා වළක්වා ගැනීම
රෝගය සඳහා ඇති උත්තේජක වලින් වැලකී සිටින්න.
උදා :- නිදි මැරීම, බඩගින්න, අධිකව මත්පැන් භාවිතය, මානසික ආතතිය

පරිශීලන
ජේෂන්ට් යූ.කේ. - අපස්මාරය ගැන ලියවුණු ග්‍රන්ථ, කුමාර් ඇන්ඩ් ක්ලාක් ග්‍රන්ථය



අර්ශස්







මිනිසාට ඉතාමත් දුක්‌දෙන මෙම රෝගය මූලාරම්භ රෝග ලක්‍ෂණ ලෙස මලබද්ධය දැක්‌විය හැකිය. (මළ බද්ධය යනු අවශ්‍ය තරම් මළ පහ පිට නොවීම හා තවත් මළ පහ ඉතිරිව ඇති බව දැනීම) අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම කෘත්‍රිම ආහාරවලට පුරුදු වී කෙඳි සහිත ආහාර නොගැනීම, ශරීරයට ව්‍යායාම නොලැබීම, මළමුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය දැනුන විට පිට නොකර සිටීම, නිදි මැරීම, එක දිගට ඉඳගෙන හෝ සිට ගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණ අධික ආහාර (ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු, තක්‌කාලි, සැමන්, අන්නාසි, අච්චාරු, දෙල්, හරක්‌මස්‌) පමණ නොදැන ගැනීම, අපිරිසිදු බව, පණුරෝග, මානසික හේතු ආදිය අර්ශස්‌ රෝගය හැදීමට හේතු පාදක වේ.

අර්ශස්‌ රෝගයට වයස්‌ සීමාවක්‌ නොමැත. අර්ශස්‌ රෝගය පුද්ගලයකුට වැළඳෙන අවස්‌ථා 4 ක්‌ දැක්‌විය හැක.

පරම්පරාවෙන් අර්ශස්‌ රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ.

දරුවකු කුසට එනවිට මව හෝ පියා අර්ශස්‌ රෝගයෙන් පෙළෙන්නේ නම් උපදින දරුවාටද මෙය උරුම වීමට ඉඩ තිබේ.

තරුණ වියට එළැඹීමත් සමග කරන රැකියා, චර්යා රටාවල් අනුව අර්ශස්‌ රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ පවතී.

ගර්භණී සමයේ කාන්තාවන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්‌කම් හේතුවෙන් ද අර්ශස්‌ රෝගය වැළඳීමට ඉඩ තිබේ.

උදරගත පිළිකා ඇති පුද්ගලයන්ටද අර්ශස්‌ රෝගය වැළඳීමට ඉඩ තිබේ.

අර්ශස්‌ රෝගයේ විවිධ වර්ග තිබේ. මෙය පිරිමින්ට පමණක්‌ සීමා වූ රෝගයක්‌ද නොවේ.

ලේ අර්ශස්‌, අභ්‍යන්තර අර්ශස්‌, ගුද භ්‍රන්ස, භගන්දරා මින් සමහරක්‌ වේ. මෙහිදී බහුලව දැකිය හැකි අර්ශස්‌ වර්ග හා කාන්තාවන්ට බහුලව වැළඳෙන අර්ශස්‌ රෝග පහත සඳහන් පරිදි විස්‌තර කළ හැකිය. ඒවා නම්,

ලේ අර්ශස්‌ හෙවත් රක්‌ත අර්ශස්‌

ගුද මාර්ගයේ මාංශපේශි ත්‍රිත්වයක්‌ තිබේ. මෙම මාංශ පේශීSS ත්‍රිත්වයෙන් ප්‍රවාසහිණී, මාංශපේශියෙන් මළ එකතු කිරීමද, විසර්ජණී මාංශ පේශියෙන් මළ පහළට තල්ලු කිරීමද, තෙවැනි මාංශපේශිය වූ සංවරණීයෙන් නැවත මළ පිට වෙන්නට නොදී ගුදයේ තොල් හකුළුවනු ලැබීමද කෙරේ. ආයාසයෙන් මළ පිට කිරීමට උත්සාහ කිරීමේදී ගුද ගත ලේ නහරවල ස්‌වාභාවික පීඩනයට බාධා ඇතිවත්ම ඒ නහරවල ගැටිති ඇතිවී ඒවා පුපුරා ලේ වහනය වන්නට පටන් ගනී. මෙය ලේ අර්ශස්‌ හෙවත් රක්‌ත අර්ශස්‌ ලෙස හැඳින්වේ.

අභ්‍යන්තර අර්ශස්‌

ඉහත සඳහන් ලෙසට ගුද ගත ලේ නහරවලට බාධා ඇතිවන විට, සමීපස්‌ථ මාංශපේශීවල අංකූර (මස්‌දළු) පැනනැඟේ. මේවා අභ්‍යන්තර අර්ශස්‌ ලෙස හඳුන්වනු ලැබේ.

බාහිර අර්ශස්‌

අභ්‍යන්තර අර්ශස්‌ වැඩිපුර පිරිමි තුළ දැකිය හැකි අතර 10% ක්‌ පමණ අභ්‍යන්තර අර්ශස්‌වලට ගොදුරු වන කාන්තාවන්ද ඇත. ඉතිරි 90% ගත හොත් බාහිර අර්ශස්‌ රෝගයෙන් පෙළෙන අයයි. ශරීරයේ අභ්‍යන්තරයේ සිට ඇති වන මාංශ පේශි ඉදිමුම ගෙඩි වශයෙන් ගුදයේ එළියේ විසිරී පවතියි. අර්ශස්‌ රෝගය උත්සන්න වූ විට මේවා ඉදිමී වේදනාකාරී ලක්‍ෂණ පහළ වේ. අභ්‍යන්තර අර්ශස්‌ රෝගියකු තුළ දැකිය හැකි දැවිල්ල. මළ බද්ධය ඇතුළු සියලුම රෝග ලක්‍ෂණ ද බාහිර අර්ශස්‌ රෝගියා තුළ ද දැකිය හැකියි. එමෙන්ම මෙම රෝගයෙන් හුදකලාව වේදනා විඳින කාන්තාවන්ට එක්‌ වාසනා ගුණයක්‌ පිහිටා තිබේ. එනම්, සති 4 ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළදී මෙම තෙල් ප්‍රතිකාරයෙන් පූර්ණ සුවය ලබාගත හැකි වීමයි.

ගුද භ්‍රංස - මුළු ගුදයම කුඩා බැලුමයක්‌ සේ වැසිකිළි යන විට එළියට එන අතර විශාල වශයෙන් සෙවළ වැගිරීමක්‌ දක්‌නට හැකියි.

භගන්දරා - තට්‌ටම් ප්‍රදේශයේ කුඩා ගැටිති ලෙස මෙය හට ගන්නා අතර ඒවායින් වාතය පිටවීම, තෙත සැරව ගැලීම දැකිය හැකියි.

පරිකර්තිකා හෙවත් ගුදය පැලීම -

මෙය සීමා සහිතව දැකිය හැකි අතර මෙම රෝගීන්ට නිතරම තෙත ගැලීම සිදු විය හැකියි.

විද්‍රdධී - ගුදය ආසන්නයේ සැරව ගෙඩි ලෙස ඇතිවන මේ තුළින් නිතරම සාරය ගැලීම සිදුවන අතර දැඩි වේදනාවක්‌ ඇති වෙයි.

අර්ශස්‌ රෝගියෙක්‌ තුළ දැකිය හැකි පොදු ලක්‍ෂණ ලෙස මළ බද්ධය බඩ පුරවා දැමීම දැක්‌විය හැකියි. ලේ යැම, තෙත ගැලීම, සීදන්යැම, කොන්ද, යටිබඩ හා දන හිස්‌ වේදනාව, ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය, මුත්‍ර අඩස්‌සිය, නොසන්සුන් බව, අධික ලෙස තරහ යැම, හිස බර ගතිය, පීනස ආදී අතුරු රෝග තත්ත්වයන් දැක්‌විය හැකිය.